Tuesday, April 26, 2011

එ.ජා.ප. මන්ත්‍රී ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්‍ෂගෙන් මූන්ට ලිපියක්‌

මම ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්‍ෂය වන එක්‌සත් ජාතික පක්‍ෂය නියෝජනය කරනු ලබන මන්ත්‍රීවරයෙකි. මම ශ්‍රී ලංකාවේ ජනාධිපති නීතිඥවරයකු සහ පුරවැසියකු වශයෙන් මෙම ලිපිය ඔබ හට ලියමි.

ඔබ විසින් පත්කර ඇතැයි කියනු ලබන ඉහත සඳහන් විශේෂඥ කමිටුව විසින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයාට සහ හමුදාවන්ට එරෙහිව බරපතළ චෝදනා එල්ල කරමින් වාර්තාවක්‌ ඉදිරිපත් කර ඇති බව මා හට දැනගන්නට ලැබී ඇත. පිටු 200 කට ආසන්න එම වාර්තාවේ කෙටි සාරාංශයක්‌ මාධ්‍යයන්හි පළ වී තිබූ හෙයින් ඒ පිළිබඳ සීමිත දැනීමක්‌ මා හට ඇති අතර එම වාර්තාව අධ්‍යයනය කිරීමට අවස්‌ථාවක්‌ ලැබුණු පසුව එහි අන්තර්ගතය පිළිබඳ කරුණු පසුව ඉදිරිපත් කිරීමට මම බලාපොරොත්තු වෙමි.

1. එකී වාර්තාවේ නීති විරෝධීභාවය, සම්මත විරෝධීභාවය සහ ක්‍රියාත්මක නොකළ හැකිභාවය පිළිබඳ ඔබතුමා දැනුවත් කිරීම පිණිස මෙම සීමිත කරුණු ඉදිරිපත් කිරීම සිදු කරමි. 1945 ජුනි 26 වැනි දින ඇමරිකා එක්‌සත් ජනපදයේ සැන් µ්‍රeන්සිස්‌කෝ නුවරදී අත්සන් කරන්නට යෙදුණ 1945 ඔක්‌තෝබර් 24 වැනි දින සිට ක්‍රියාත්මක වන්නට යෙදුණ එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥප්තියේ මුඛ්‍ය අරමුණු පිළිබඳ මා ඔබට මුලින් සිහිපත් කරවමි. එහි පූර්විකාව පහත පරිදි වේ.

* අප අපගේ ජීවිත කාලය තුළ යුද්ධය නමැති ශාපයෙන් දෙවතාවක්‌ම කියා නිමකළ නොහැකි ආකාරයේ මහත්වූ දුක්‌පීඩාවලට පත්වූ හෙයින් අනාගත පරම්පරාවන් එකී දුක්‌ඛදායක තත්ත්වයෙන් බේරාගැනීමට එක්‌සත් ජාතීන්ගේ සංවිධානය අධිෂ්ඨාන කරගෙන ඇති හෙයින්ද,

* ලොව ලොකු සහ කුඩා ජාතීන්ගේ ද, මිනිසුන්ගේ සහ ගැහැනුන්ගේ සමාන අයිතිවාසිකම් ද, මනුෂ්‍යයන්ගේ ගරු ගාම්භීරතාවය ද, මනුෂ්‍යයන්ගේ මූලික අයිතිවාසිකම් ද, පිළිබඳ හිමිකම නැවත තහවුරු කිරීම පිණිස ද,

* ජාත්‍යන්තර ගිවිසුම් මගින් සහ අනෙකුත් ජාත්‍යන්තර මූලාශ්‍රයන්ගෙන් මතුවන්නා වූ වගකීම් යුක්‌තිසහගත ලෙස සහ ගෞරවනීය ලෙස තහවුරු කරන්නා වූ ක්‍රමවේදයක්‌ ස්‌ථාපිත කිරීම පිණිස ද,

* සමාජ උන්නතිය ඇතිකරලීම සහ වඩාත් නිදහස්‌ පරිසරයක්‌ තුළ උසස්‌ ජීවන තත්ත්වයක්‌ ඇතිකිරීම සඳහා ද මෙම ප්‍රඥප්තීන් පනවනු ලැබේ.

2. එක්‌සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ 1.1 ව්‍යවස්‌ථාවේ පහත පරිදි සඳහන් වේ.

1.1 ජාත්‍යන්තර සාමය සහ ආරක්‍ෂාව ඇතිකිරීම සහ පවත්වා ගෙන යැමේ අරමුණෙන් ද, සාමය සඳහා ඇති බාධකවලින් මිදීම සඳහා ද, බාධක ඉවත්කර ගැනීම පිණිස සාමූහික ප්‍රයත්නයක්‌ බලාත්මක කිරීම පිණිස ද, ආක්‍රමණකාරී ක්‍රියාවන් සිදුවීම් සහ වෙනත් ආකාරයේ සාමය කඩවන්නා වූ ක්‍රියාවන් සිදුවීම වළක්‌වා ගැනීම පිණිස ද, සාමය ඇතිකිරීම සඳහා සුදුසු පියවර ගැනීම පිණිස ද, සාමය කඩවීම පිණිස හේතුවිය හැකි ජාත්‍යන්තර අර්බුද සහ තත්ත්වයන් යුක්‌තිය පිළිබඳ මූලධර්ම සහ ජාත්‍යන්තර නීතියේ මූලධර්මයන්ට අනුකූලව විස¹ ගැනීම පිණිස ද,

1.2 ජාතීන් හට ස්‌වයං තීරණ ගැනීමට ඇති අයිතිය සහ සමාන හිමිකම් ඇති බවට වූ මූලධර්ම පදනම් කරගෙන ජාතීන් අතර මිත්‍රත්වය වර්ධනය කරගැනීම පිණිස ද, ජාත්‍යන්තර සාමය ශක්‌තිමත් කිරීම සඳහා අවශ්‍ය අනෙකුත් පියවර ගැනීම පිණිසද, එක්‌සත් ජාතීන් මෙම ප්‍රඥප්තිය පනවනු ලැබේ.

සාමාජික රටවල්වල ස්‌වාධිපත්‍යය පිළිබඳ සමාන අයිතිවාසිකම් මූලධර්මය මත පදනම්ව එක්‌සත් ජාතීන්ගේ සංවිධානය බිහිවූ බව එහි 2.01 ව්‍යවස්‌ථාවේ පැහැදිලිව සඳහන් වේ.

3. ප්‍රඥප්තියේ 24 වැනි ව්‍යවස්‌ථාව මගින් ආරක්‍ෂක මණ්‌ඩලය වෙත පහත සඳහන් කාරණා සඳහා බලතල පැවැරී ඇත. එය පහත පරිදි වේ.

24.1 එක්‌සත් ජාතීන්ගේ කටයුතු කලට වේලාවටත්, හොඳටත්, ඉෂ්ට කරවීම පිණිස එහි සාමාජික ජාතීන් ජාත්‍යන්තර සාමය හා ආරක්‍ෂාව පවත්වා ගැනීමේ මූලික වගකීම ආරක්‍ෂක මණ්‌ඩලය කෙරෙහි පවරති. එමෙන්ම මේ වගකීම පිට තම යුතුකම් ඉටුකිරීමේදී ආරක්‍ෂක මණ්‌ඩලය ක්‍රියාකරන්නේ එක්‌සත් ජාතීන් වෙනුවෙන් බව පිළිගැනීමට ද, ඒ සාමාජික රටවල් එකඟ වෙති.

24.2 මේ යුතුකම් ඉෂ්ට කිරීමේදී ආරක්‍ෂක මණ්‌ඩලය විසින් එක්‌සත් ජාතීන්ගේ පරමාධ්‍යාශ හා ප්‍රතිපත්ති අනුව ක්‍රියාකළ යුතුය. මේ යුතුකම් ඉෂ්ටකිරීම සඳහා ආරක්‍ෂක මණ්‌ඩලය කෙරෙහි පවරා ඇති නියමිත බලතල ඪෂ වැනි ඪෂෂල ඪෂෂෂ වැනි හා ඞෂෂ වැනි පරිච්ඡේදවල දක්‌වා ඇත.

4. ජාත්‍යන්තර වශයෙන් ගැටුම්කාරී තත්ත්වයක්‌ ඇතිවන්නාවූ හෝ ගැටුමකට හේතුවන්නා වූ තත්ත්වයක්‌ පිළිබඳ හෝ යම් තත්ත්වයක්‌ ජාත්‍යන්තර සාමය සහ ආරක්‍ෂාව පවත්වාගෙන යැමට බාධාවක්‌ බවට පත්වන්නේ ද යන්න හෝ ඒ පිළිබඳ කරුණු ගවේෂණය කිරීම සඳහා ප්‍රඥප්තියේ 34 ව්‍යවස්‌ථාව මගින් ආරක්‍ෂක මණ්‌ඩලය වෙත බලය පැවරී ඇත්තේය.

5. එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා වශයෙන් ඔබට මෙන්ම එහි සාමාජික රටවල්වලට පහත සඳහන් කරුණු පිළිබඳ අවබෝධයක්‌ ඇත.

අ) ශ්‍රී ලංකාව සමාන අයිතිවාසිකම් ඇති ස්‌වෛරී ස්‌වාධිපත්‍යය රාජ්‍යයක්‌ ලෙස කටයුතු කරමින් ලෝකයේ බිහිසුණු ම සහ අති අමානුෂික ත්‍රස්‌තවාදී සංවිධාන අතරින් එකක්‌ ලෙස නම් දැරූ එල්.ටී.ටී.ඊ. සංවිධානයට එරෙහිව ඉතා දරුණු යුද්ධයක්‌ සිදුකළ බව,

ආ) ශ්‍රී ලංකාව අඛණ්‌ඩව වසර 33 ක්‌ තිස්‌සේ ඉතාමත් දීර්ඝතම යුද්ධයක්‌ සිදු කළ බව (1976-2009),

ඇ) ශ්‍රී ලංකාවට මිතුරු රටවල් කිහිපයකින් යම් උපකාර ලැබුණ ද ජාත්‍යන්තර සංවිධානයන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයේ සහයෝගයක්‌ නොලද හෙයින් ත්‍රස්‌තවාදයට එරෙහි එම යුද්ධය තනිව ම කිරීමට සිදුවූ බව,

ඈ) එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජය කළ නොහැකි බව ලෝකයේ වඩාත් ප්‍රචලිත සහ බලවත් රටවල් අනාවැකි කියද්දීත් ශ්‍රී ලංකාව සාර්ථක ලෙස ත්‍රස්‌තවාදයට එරෙහිව යුද්ධය නිමා කරන ලද නමුත් ඒ වෙනුවෙන් නීත්‍යානුකූල හමුදා සේවයේ 30,000 ක පමණ ජීවිත ද, කාන්තාවන්, ළමයින් බිළින්දන් ඇතුළු 30,000 ක පමණ සිවිල් පුරවැසියන්ගේ ජීවිත ද අපට අහිමි වූ අතර හමුදා සේවයේ නියුතු අය ද ඇතුළුව 20,000 ක්‌ පමණ ආබාධිත තත්ත්වයට පත් වීම ද, 20,000 ක්‌ පමණ කාන්තාවන් වැන්දඹු තත්ත්වයට පත්වීම ද 40,000 ක්‌ පමණ දරුවන් අනාථ තත්ත්වයට පත්වීම ද සිදුවන ලදී.

ඉ) පසුගිය දශක තුනක කාලය තුළ ආර්ථිකයේ දරුණු කඩාවැටීමක්‌ සහ පසුබෑමක්‌ එම යුද්ධය නිසා සිදුවිය.

6. පසුගිය දශක තුනක කාලපරිච්ඡේදය තුළ ඔබ (ඔබ හෝ තත්කාලයේ මහ ලේකම් ධුර දරන ලද මහ ලේකම්වරුන්) ශ්‍රී ලංකාව තුළ සිදුවූ මහත් විනාශකාරී ගැටුම් සහ විනාශයන් වළක්‌වා ගැනීම සහ හානි අවම කර ගැනීම පිණිස ගත යුතුව තිබූ කිසිදු පියවරක්‌ නොගත් අතර වරින් වර දෙපාර්ශ්වයට ම සාමය රකින ලෙසට දන්වමින් මාධ්‍ය නිවේදන නිකුත් කිරීම පමණක්‌ සිදුකරන ලදී. ශ්‍රී ලංකා රජයෙන් කරන ලද සියලු ඉල්ලීම් ඉදිරියේ ඇස්‌ කන් නොමැති සේ ඔබ සහ ඔබගේ පූර්වගාමීන් කටයුතු කරන ලදී. එක්‌සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය මගින් බලාපොරොත්තු වන පරිදි ලෝක සාමය සුරැකීම පිණිස පිහිටුවා ගන්නා ලද එක්‌සත් ජාතීන්ගේ සංගමයේ වගකීම් සහ යුතුකම් ඉටු කිරීම පිණිස ඇති මහලේකම් තනතුරෙහි යුතුකම් සහ වගකීම් ෙච්තනාත්මකව හෝ වෙනත් හේතුවක්‌ නිසා ඉටු නොකිරීම ඔබට එරෙහිව (තත් කාලයෙහි එම තනතුරෙහි සිටි මහ ලේකම්වරුන් ඇතුළුව) ඉදිරිපත් වී ඇති චෝදනාව ලඝූ කොට නොතැකිය යුත්තේය.

7. ශ්‍රී ලංකා රජයේ රාජ්‍ය නායකයන් දිගින් දිගටම ත්‍රස්‌තවාදී කණ්‌ඩායම් සහ එහි හිතවාදීන් විසින් ඇති කරන ලද ප්‍රචණ්‌ඩත්වය නතර කිරීම පිණිස අති මහත් වෙහෙසක්‌ දරා දේශපාලනික ලෙස ගනුදෙනු කොට එකඟතාවන්ට සහ ගිවිසුම් ගණනාවකට එළඹෙන ලද කාරණය ඔබ විසින් සැලකිල්ලට ගත යුතුව තිබිණි. (කරුණාකර මෙයට A ලෙස අමුණා ඇති ලේඛනය බලන්න)

8. ඉහත සඳහන් කාරණා සහ වෙනත් දේ අතර පහත සඳහන් නීතිමය තත්ත්වයන් හේතුවෙන් ඔබ විසින් උපදේශක මණ්‌ඩලයක්‌ පත් කිරීම, එමඟින් වාර්තාවක්‌ සකස්‌ කිරීම සහ එය ප්‍රසිද්ධියට පත් කිරීම එනයින් ම නීති විරෝධී මෙන්ම එක්‌සත් ජාතීන්ගේ ප්‍රඥප්තීන් උල්ලංඝනය කිරීමක්‌ බව මෙයින් දන්වා සිටිමි.

අ) වර්ෂ 2002 ජුලි මස 01 වැනි දින සිට ක්‍රියාත්මක වන්නට යෙදුන ජාත්‍යන්තර අපරාධ අධිකරණය සඳහා වූ රෝම ව්‍යවස්‌ථාවට ශ්‍රී ලංකාව පාර්ශ්වකරුවකු ලෙස අත්සන් කර නොමැති හෙයින් 2009 මැයි මස දී ශ්‍රී ලංකාව ත්‍රස්‌තවාදයට එරෙහිව නිමා කළ යුද්ධයේ පශ්චාත් සමයේ ශ්‍රී ලංකාවේ අභ්‍යන්තරයෙහි ඇති වූ බවට චෝදනා කරන සිද්ධීන් ඇතුළුව වෙනත් කාරණා සම්බන්ධව ද කිසිදු ආකාරයක පියවරක්‌ ගැනීම පිණිස ඔබ හට නීතිමය බලයක්‌ පැවරී නොතිබීම.

ආ) ලෝක සාමයට තර්ජනයක්‌ එල්ල වී ඇත්දැයි යන්න සහ එසේ නම් කුමන පියවරයන් අනුගමනය කළ යුතු ද යන්න පිළිබඳව තීරණ ගැනීමේ බලය ප්‍රඥප්තියේ 39 වැනි ව්‍යවස්‌ථාව අනුව ආරක්‌ෂක මණ්‌ඩලය වෙත පමණක්‌ පැවරී ඇත. එහි මෙසේ සඳහන් වේ.

39. සාමයට යම් තර්ජනයක්‌ හෝ සාමය කඩ කිරීමක්‌ හෝ යම් ආක්‍රමණික ක්‍රියාවක්‌ හෝ පවත්නේ ද යන වග නිශ්චය කරගෙන ආරක්‌ෂක මණ්‌ඩලය විසින් ජාත්‍යන්තර සාමය හා ආරක්‌ෂාව පවත්වා ගැනීම හෝ නැවත ඇති කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කළ යුතුය. එසේ නැතහොත් ඒ සඳහා 41 වැනි හා 42 වැනි වගන්ති අනුව කවර විධිවිධාන සැලැස්‌විය යුතු ද යන වග තීරණය කළ යුතුය.

40. 39 වැනි වගන්තියෙහි සඳහන් පරිදි නිර්දේශ ඉදිරිපත් කිරීමට හෝ යෙදිය යුතු විධිවිධාන ගැන තීරණය කිරීමට හෝ කලින් තත්ත්වය උග්‍ර වීම වළක්‌වාලීම පිණිස අසවල් විධිවිධාන අවස්‌ථානුරූපව ඉෂ්ට කිරීම යෝග්‍ය නැතහොත් සුදුසු ය කියා ආරක්‌ෂක මණ්‌ඩලයට හැඟේ නම්, එවැනි අවස්‌ථානුරූප විධිවිධාන ඉෂ්ට කරන ලෙස ප්‍රස්‌තුත කාරණයට සම්බන්ධ වූ පාර්ශ්වකාරයන්ට නියම කිරීමට ආරක්‌ෂක මණ්‌ඩලයට බලය ඇත්තේය. එවැනි අවස්‌ථානුරූප විධිවිධාන නියම කළ යුත්තේ පාර්ශ්වකාරයන්ගේ අයිතිවාසිකම්වලට හෝ ස්‌ථාවරයට හෝ තත්ත්වයට හෝ හානියක්‌ නොවන හැටියට ය. එවැනි අවස්‌ථානුරූප විධිවිධාන ඉෂ්ට කිරීම පැහැර හැරීම ගැන යථා කාලයේ දී ආරක්‌ෂක මණ්‌ඩලය කල්පනාවට ගත යුතුය.

එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවල් පිළිබඳව තීරණ ගැනීම සඳහා අන් සතු කළ නොහැකි පූර්ණ බලය පැවරී ඇත්තේ ආරක්‌ෂක මණ්‌ඩලයට වන අතර ආරක්‌ෂක මණ්‌ඩලය මගින් ශ්‍රී ලංකාව සම්බන්ධව එවැනි කිසිදු තීරණයක්‌ මේ දක්‌වා ගෙන නොමැති අතර කිසිදු ක්‍රියාමාර්ගයක්‌ ගැනීම සඳහා ඔබ වෙත නියමයක්‌ හෝ නිකුත් කොට නොමැත.

ඇ) ප්‍රඥප්තියේ 29 වැනි ව්‍යවස්‌ථාව අනුව ස්‌වකීය කර්තව්‍යයන් ඉෂ්ට කිරීම සඳහා යම් යම් අප්‍රධාන සංස්‌ථාවන් පිහිටුවාලීම අවශ්‍ය යෑයි හැඟේ නම් එවැනි ආයතනයක්‌ පිහිටුවා ගැනීමට ආරක්‌ෂක මණ්‌ඩලයට බලය පවරා ඇත්තේය.

ප්‍රඥප්තියේ 34 වැනි ව්‍යවස්‌ථාව අනුව යම් කිසි ආරවුලක්‌ හෝ ජාත්‍යන්තර ඝට්‌ටනයක්‌ නොහොත් ආරවුලක්‌ පැන නැගීමට තුඩු දිය හැක්‌කා වූ තත්ත්වයක්‌ දිගටම එසේ තිබීමට ඉඩ හැරීමෙන් ජාත්‍යන්තර සාමය හා ආරක්‌ෂාව පවත්වා ගැනීමේ ප්‍රතිපත්තියට හානි සිදුවේ ද නැද්ද යන බව තීරණය කර ගැනීම පිණිස ඒ ආරවුල නොහොත් තත්ත්වය ගැන විමර්ශනය කිරීමට ආරක්‌ෂක මණ්‌ඩලයට බලය ඇත්තේ ය.

ආරක්‌ෂක මණ්‌ඩලය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එවැනි ආකාරයක වූ කිසිදු අප්‍රධාන ආයතනයක්‌ පිහිටුවා නොමැති අතර එවැනි ආයතනයක්‌ පිහිටුවීමට හෝ විමර්ශනයක්‌ කිරීමට ඔබ වෙත නියෝගයක්‌ මේ දක්‌වා පනවා නොමැත. ආරක්‌ෂක මණ්‌ඩලය සතු එම බලය ඔබ වෙත පැවරීමට ආරක්‌ෂක මණ්‌ඩලයට බලයක්‌ නොමැති අතර සත්‍ය ලෙසින් ම එසේ පවරා දීමක්‌ ද සිදුකර නොමැත.

ඈ) එක්‌සත් ජාතීන්ගේ සංගමයේ ප්‍රධාන පරිපාලක නිලධාරී තනතුර වන මහලේකම් ධුරය හොබවන ඔබගේ බලතල ප්‍රඥප්තියේ 99 වැනි ව්‍යවස්‌ථාව යටතේ නිශ්චිත ලෙස අර්ථ නිරූපණය කර ඇති අතර ඒ අනුව ජාත්‍යන්තර සාමයට බාධාවක්‌ විය හැකි යම් තත්ත්වයක්‌ පවතින බව ඔබගේ මතය වන්නේ නම් එම කාරණය ආරක්‌ෂක මණ්‌ඩලයේ අවධානයට යොමු කිරීමට ඔබට බලය ඇත්තේය. එසේ නමුත් ඔබට උපදෙස්‌ දීම සඳහා යෑයි පවසමින් විශේෂඥ කමිටුවක්‌ පිහිටුවීම ඇතුළු වෙනත් යම් අනු ආයතනයක්‌ සංස්‌ථාපනය කිරීමට ඔබ හට බලයක්‌ පැවරී නොමැත.

ඉ) ඉහත කරුණුවලට අගති රහිතව ඔබ විසින් පවසන පරිදි එකී විශේෂඥ කමිටුව ඔබ වෙත උපදෙස්‌ ලබාදීම සඳහා සංස්‌ථාපනය කළ බවට පවසන තර්කය නිවැරැදි නම් ඔබ එක්‌සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ 100 වැනි ව්‍යවස්‌ථාව බරපතළ ලෙස උල්ලංඝනය කර ඇති බව සක්‌සුදක්‌ සේ පැහැදිලි ය. 100 වැනි ව්‍යවස්‌ථාව පහත සඳහන් පරිදි වේ.

100 (1) ස්‌වකීය රාජකාරී ඉෂ්ට කිරීමේ දී මහලේකම් ඇතුළු කාර්යය මණ්‌ඩලය විසින් එක්‌සත් ජාතීන්ගේ සංවිධානය හැර වෙන කිසිම ආණ්‌ඩුවකින් හෝ වෙන යම් බල මණ්‌ඩලයකින් හෝ උපදෙස්‌ ඉල්ලීම හෝ ලබා ගැනීම හෝ නොකළ යුතුය. සංවිධානයට පමණක්‌ වගකියන ජාත්‍යන්තර නිලධරයන් වශයෙන් ස්‌වකීය තත්ත්වයට අපකීර්තියක්‌ ගෙන දිය හැකි මොනම කටයුත්තක්‌වත් කිරීමෙන් වැළකී සිටිය යුතුය.

100 (2) මහලේකම්ගේ හා කාර්යය මණ්‌ඩලයේ වගකීම්වල හුදු ජාත්‍යන්තර ස්‌වභාවය ගැන සලකා ඔවුන්ගේ ඒ වගකීම් ඉෂ්ට කිරීමේ දී ඔවුන්ට කිසිම බලපෑමක්‌ නොකිරීමට එක්‌සත් ජාතීන්ගේ සෑම සාමාජිකයා ම වගබලාගත යුතු වන්නේය.

එකී කමිටුව සංස්‌ථාපනය කරන ලද්දේ ඔබ හට උපදෙස්‌ ලබාදීමට නම් ශ්‍රී ලංකාව තුළ අභ්‍යන්තරික ලෙස සිදුවී ඇතැයි කියනු ලබන කාරණාවන් පිළිබඳව විමර්ශනය කිරීමට හෝ වාර්තා කිරීමට හෝ වාර්තාවක්‌ සැකසීමට හෝ එවැනි වාර්තාවක්‌ කිසිවෙකුට බාර දීමට හෝ කුමන බලප්‍රදේශයක්‌ තුළ හෝ එවැන්නක්‌ ප්‍රසිද්ධියට පත් කිරීමට ඔවුන්ට හෝ ඔබට බලයක්‌ නොමැත්තේය.

ඊ) කෙසේ වෙතත් ඔබගේ විශේෂඥ උපදේශක කමිටුවේ ඊනියා වාර්තාව දෙපාර්ශ්වයටම සවන් දිය යුතුය යන මූලධර්මය ඇතුළු (aමාස aකඑeර්ප ච්රඑeප) ස්‌වාභාවික යුක්‌තියේ සියලුම මූලධර්මයන්ට සහ නියමයන්ට පටහැනි වන්නා වූ එකකි.

ඉහත සඳහන් පරිදි කමිටුවක්‌ පත් කිරීම සහ ඔවුන්ගේ වාර්තාවක්‌ ප්‍රකාශයට පත්කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ස්‌වෛරීත්වයට බරපතළ ලෙස හානි සිදු වී ඇති අතර එමගින් එක්‌සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය ඔබ ඉතා බරපතළ ලෙසින් උල්ලංඝනය කොට තිබේ. ඔබගේ ක්‍රියාකලාපය අනුව එක්‌සත් ජාතීන්ගේ ආරක්‌ෂක මණ්‌ඩලයේ බලතල ඔබ වෙත පවරා ගෙන ඇති ආකාරයට ඔබ කටයුතු කොට ඇත.

එකී ත්‍රස්‌තවාදී යුද්ධය නිමා වීමෙන් පසුව ජන කොට්‌ඨාස අතර පැවැති අනවබෝධයන් සහ අවිශ්වාසයන් දුරුවෙමින් ජාතික සංහිඳියාවක්‌ ඇතිකිරීම පිණිස කටයුතු සිදුවෙමින් පැවතියදී ඔබ විසින් ඉහත කී පරිදි කමිටුවක්‌ පත්කිරීමට සහ එකී කමිටුවේ වාර්තාව ප්‍රසිද්ධ කිරීමට කටයුතු කිරීම මගින් එය ශ්‍රී ලංකාවට ඉමහත් සේ අගතිදායක ලෙස බලපාන බවත්, මෙතෙක්‌ සාමය සහ සංහිඳියාව සඳහා ගෙන තිබූ ව්‍යායාමයන් නිෂ්ක්‍රීය තත්ත්වයට පත් වන බවත් සඳහන් කළ යුතුව ඇත. එම හේතුවෙන් මෙරට ජන කොට්‌ඨාසයන් අතර ගොඩනැගෙමින් ඇති සංහිඳියාව සහ ආර්ථික ස්‌ථාවරභාවය බිඳ වැටීමට සහ එමගින් ව්‍යසනකාරී තත්ත්වයක්‌ අනාගතයේ සිදුවීමට ඉඩ ඇති අතර එවැන්නක්‌ සිදු වුවහොත් එහි පූර්ණ වගකීම ඔබ විසින් භාරගත යුතුව ඇත.

මාගේ හෘද සාක්‍ෂිය තුළ පවතින දේශප්‍රේමීත්වය හේතුවෙන් එහෙත් කිසිදු ද්වේශයකින් හෝ වෛරයකින් තොරව මෙම කාරණය පිළිබඳ විචක්‌ෂණශීලීව සාකච්ඡාවක්‌ පැවැත්වීම පූර්වතාවයක්‌ ලෙස අවශ්‍ය වී ඇති හෙයින් මෙම ලිපිය ලිවීමට අදහස්‌ කළෙමි. එම නිසා මීට පෙර ඔබ එකී තනතුරෙහි ගාම්භීර ලෙස කටයුතු කළ ආකාරය පිළිබඳ අගය කරමින් සම්මුඛ සාකච්ඡාවක්‌ සඳහා ඔබට පහසු අවස්‌ථාවක්‌ හැකි ඉක්‌මනින් වෙන්කර දෙන ලෙස ඉල්ලා සිටින අතර එය අෙන්‍යාන්‍ය වශයෙන් අප රටට සහ එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට ඵලදායක වන බව විශ්වාසයකින් යුතුව ප්‍රකාශ කර සිටිමි.



http://www.divaina.com/2011/04/26/news38.html

No comments: