Thursday, February 2, 2012

චණ්‌ඩි ඌරෝ

සාමාන්‍යයෙන් මැරයකු යනු නිරෝගී මිනිසකු සමඟ ද්වන්ධ සටනක යෙදිය හැකි තරමේවත් ආත්ම ශක්‌තියක්‌ ඇති පුද්ගලයකු යෑයි අපි විශ්වාස නොකරමු. මැරයකු, මැරයකු වන්නේම වෙනත් සදාචාරවත් මිනිසකුට කළ නොහැකි පහත් මට්‌ටමේ ක්‍රියාවන් ඔහුට කළ හැකි නිසාය. සාමාන්‍යයෙන් මැරයා සමාන කළ හැක්‌කේ අසූචි ඇඟ තවරාගත් ඌරකුටය. එබඳු ඌරකු තමන් හඹා එනවිට මිනිසුන් පලා දුවන්නේ ඌට ඇති බියට නොව උගේ ඇඟේ තැවරී ඇති අසූචිවලට බියටය. මේ නිසා අශුචි තවරාගත් ඌරෝ හැමවිටම නොමිලේම චණ්‌ඩීහු වෙති.

චණ්‌ඩි ඌරෝ ස්‌වකීය දුර්ගන්ධය මඟින් මිනිසුන් සීසීකඩ පළවාහරින අතර සමාජ සංහිඳියාවද, සාමකාමී බවද බිඳහෙළයි. මහත් පිළිකුලක්‌ සමඟ වූ බියක්‌ සංත්‍රාසයක්‌ සමාජය තුළ ඇති කරයි. කරුමයකට මෙන් ඇතැම් අමන දේශපාලනඥයෝ මෙබඳු ඌරන් කැඳවා තමන්ගේ රෙද්ද අස්‌සේද දමා ගනිති. ඒ ඇතැම් දේශපාලනඥයකුට අර ඌරාගේ දුර්ගන්ධය තමාගේ දුර්ගන්ධයට සාපේක්‍ෂව එතරම් බරපතළ එකක්‌ නොවන නිසා විය හැකිය.

ඒ කෙසේ වුවත් අවසාන වශයෙන් අපට කිව හැක්‌කේ කොටින්ගෙන් ඉතා අපහසුවෙන් බේරාගත් රට ඌරන් අතට පත්වීම වැළැක්‌වීමට රජය දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතු බවය.




http://www.divaina.com/2012/02/01/editor.html