Tuesday, April 19, 2011

බෑන් කී මූන්ගේ කමිටු වාර්තාව.


අවි බලයෙන් විනාශයක්‌ කළ ත්‍රස්‌තවාදයට ප්‍රතිචාරය දැක්‌වූවා මිස අහිංසක මිනිස්‌ ඝාතන සිදු කළැයි ජාත්‍යන්තර සංවිධානවල චෝදනාවට ලක්‌වීමට තරම් වරදක්‌ ලක්‌ රජය සිදුකර නැත.

සියම් මහා නිකායේ අස්‌ගිරි පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක අග්ගමහා පණ්‌ඩිත උඩුගම ශ්‍රී බුද්ධරක්‌ත ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ

-------------------------------------------------------------------

මෙය එකිනෙකාට ඇඟිල්ල දිගු කරමින් අපගේ වීරෝදාර රණවිරුවන් සහ ඔවුන් ලද අභිමානනීය ඓතිහාසික විජයග්‍රහණය අසරණ කළ යුතු අවස්‌ථාවක්‌ නොවේ. අපගේත් රටේත් නිදහස සහ චිරස්‌ථිතිය වෙනුවෙන් කැපවූ දේශප්‍රේමයෙන් ඔද වැඩුන රණකාමී රණවිරුවන් ලද ලොව මවිතයට පත් කළ විජයග්‍රහණය දිවි හිමියෙන් ආරක්‍ෂා කිරීම ආණ්‌ඩුවේ මෙන්ම පක්‍ෂ විපක්‍ෂ භේදයක්‌ නොමැතිව අප සියලු දෙනාගේ පරම පවිත්‍ර ජාතික වගකීමකි.

ම්ලේච්ඡ එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌තවාදීන් දළදා මාළිගාවට, අනුරාධපුර ශුද්ධ භූමියට, අරන්තලාවේ භික්‍ෂූන්ට ප්‍රහාර එල්ල කරද්දී අහිංසක සිවිල් වැසියන් දසදහස්‌ ගණනක්‌ අමු අමුවේ මරා දමද්දී ජාත්‍යන්තර ප්‍රජාවට අමතක වූ මානව හිමිකම් අපගේ අභීත රණවිරුවන් එම ම්ලේච්ඡ නිහීන ත්‍රස්‌තවාදය පරාජය කිරීමෙන් පසු මතක්‌ වූයේ කෙසේද යන්න මා විදේශ තානාපතිවරුන්ට ජාත්‍යන්තර ප්‍රජාවට එල්ල කරන මූලික ප්‍රශ්නයකි.

එ.ජා.ප. නි. නායක සජිත් ප්‍රේමදාස

-------------------------------------------------------------------

ලංකාවේ කුමන හෝ ප්‍රශ්නයක්‌ දඩමීමා කරගෙන එහි අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමේ එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ ලේකම්වරයාගේ දේශපාලන අරමුණ ප්‍රතික්‍ෂේප කළ යුතුය. එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ ලේකම්වරයාත්, එක්‌සත් ජාතීන්ගේ සංවිධානයත් පසුගිය කාලය පුරා ලොව ප්‍රශ්නවලදී කටයුතු කර තිබෙන ආකාරය දෙස බලනවිට පෙනී යන්නේ ලොව රටවල මානවහිමිකම් රැකීමේ හෝ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කිරීමේ අවංක වුවමනාවකට වඩා වෙනත් දේශපාලන අරමුණු වෙනුවෙන් එවැනි ප්‍රශ්න උපයෝගී කරගන්නා බවය. එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ ලේකම්වරයාගේ උපදේශක කමිටු වාර්තාව දෙස බැලිය යුත්තේ එම කරුණු සිහි තබාගෙනය.

ජනතා විමුක්‌ති පෙරමුණ

-------------------------------------------------------------------

වසර 30 ක්‌ තිස්‌සේ එල්. ටී. ටී. ඊ. ත්‍රස්‌තවාදය නිසා රටක්‌ වශයෙන් අගාධයට ඇද වැටීමත්, රටේ ජනතාව වශයෙන් මරණ බියෙන් ජීවත් වීමත් ඉතා හොඳින් දන්නේ අප වැනි අය මිස ඊනියා විද්වත් මණ්‌ඩල නොවේ. ඔවුන් කරුණු විමසා ඇත්තේද හොරාගේ අම්මාගේ පේන අහන්නාක්‌ මෙන් කොටි හිතවාදීන්ගෙන්මය. එබැවින් එම වාර්තාව හිතා මතාම ත්‍රස්‌තවාදීන්ට පක්‍ෂපාතීව සකස්‌ කළ දෙයක්‌ බව නිර්භයව ප්‍රකාශ කරමු. එසේම ශ්‍රී ලංකා රජය වශයෙන්ද ඊට උත්තර බැඳීමට යා යුතු නැති බවත් එම වාර්තාව එකහෙළාම ප්‍රතික්‌ෂේප කළ යුතු බවත් මෙහිලා සඳහන් කරමු. එම වාර්තාව අනුමත කළ හැක්‌කේ ත්‍රස්‌තවාදයෙන් රට මුදා ගැනීම නොඉවසන පිරිසට මිස වෙනත් කිසිවෙකුටත් නොවන බව ද වගකීමෙන් යුතුව සඳහන් කරමු.

බොහෝ දෙනා කළ නොහැකි යෑයි කී ත්‍රස්‌තවාදය පරාජය කිරීම කළ හැකි බව එඩිතරව ප්‍රකාශ කරමින් එය පරාජය කරනතුරු ආරක්‌ෂක අංශ හා රජය සමඟ කටයුතු කළා සේම බෑන් කී මූන්ගේ විද්වත් මණ්‌ඩල කමිටු වාර්තාව හකුලා ගන්නා තුරුම ජනාධිපතිතුමන් ආරක්‌ෂක ලේකම්තුමන් හා රජය සමඟ ක්‍රියා කරන බව නොබියව ප්‍රකාශ කරමු.

බෙංගමුවේ නාලක හිමි
දේශප්‍රේමී භික්‌ෂු පෙරමුණ

-------------------------------------------------------------------

ඇමෙරිකාව හෝ බටහිර බලවත් රටවල් සමඟ සසඳන විට ශ්‍රී ලංකාව යනු ඇතකු අබියස තැබූ වටුවකු විය හැකිය. එහෙත් මේ වටුවා එසේ මෙසේ වටුවකු නොවන බව ඒ බලවත්හු දනිති. ඇමෙරිකාව නන්නත්තාර කළ බින් ලාදන්ගේ නගුටවත් අල්ලා ගැනීමට ජෝර්- බුෂ්ට හෝ බැරක්‌ ඔබාමාට හැකි වූයේද? එහෙත් මහින්ද රාජපක්‍ෂට ලෝකයේ බලගතුම ත්‍රස්‌තවාදියා විනාශ කර දැමීමට හැකිවිය. ඒ විතරක්‌ද එකී බලවත් ත්‍රස්‌තවාදියා සුරැකීමට ඉහත කී සියලු දෙනාම පෙළට සිටිද්දීත් ඒ කිසිදු බහකට නොනැමුණු මහින්ද රාජපක්‍ෂ ගැන ඔවුන් තුළ ප්‍රසාද චිත්තයක්‌ තිබිය හැකිද?

දිවයින කතුවැකිය

-------------------------------------------------------------------

බෑන් කී මූන් මහතාගේ උපදෙස්‌ පරිදි සකස්‌ කරන ලද ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදුවී දැයි සොයා බැලීමේ කමිටුවේ වාර්තාව ශ්‍රී ලංකාවට එරෙහි ප්‍රධාන පියවරක්‌. ඔවුන් එක රටකට එක විදිහක්‌ තවත් රටකට තව විදිහක්‌. ශ්‍රී ලංකාව හෑල්ලුවට ලක්‌කරන මෙවැනි වාර්තා මුළුමනින්ම හෙළා දකිනවා. බෑන් කී මූන්ගේ වාර්තා අපිට පිළිගන්න බැහැ. මෙහි පිටුපස සිටින උදවිය ගැන අපි විමසිලිමත් විය යුතුයි.

මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ

-------------------------------------------------------------------

එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බෑන් කී මූන් විසින් පත්කරන ලද කමිටුව මගින් නිකුත් කර ඇති වාර්තාවට කිසිදු නීත්‍යනුකූල පදනමක්‌ නොමැත. එවැනි වාර්තාවක්‌ නිකුත් කිරීමට බලයක්‌ ඇත්තේ එක්‌සත් ජාතීන්ගේ ආරක්‌ෂක සංවිධානයට සහ මානව හිමිකම් කවුන්සිලයට පමණයි.

මේ වාර්තාවෙන් බලාපොරොත්තු වන දේ ගැන අපට හිතාගන්න පුළුවන්. කුෂ්නර්, මිලි බෑන්ඩ් වගේ අයට මේ රටට එන්න නොදුන්නු එකට පළිගන්න සහ දෙමළ ඩයස්‌ පෝරාවේ ඡන්ද ලබා ගැනීම සඳහා මෙවැනි වාර්තාවක්‌ සකස්‌ කළා කියලා ඇතැම් අය මේ වාර්තාවට අර්ථකථන දෙනවා. එම වාර්තාව එකහෙළාම ප්‍රතික්‌ෂේප කළ යුතු ඒ මහතා වාර්තාව ව්‍යාජයක්‌ සහ නිර්මාණය කරන ලද්දක්‌ බවත් එබැවින් එහි යටි අරුත තේරුම් ගැනීමට ශ්‍රී ලාංකිකයන් උත්සාහ ගත යුතුයි. මෙම අවස්‌ථාව ජාතික ආපදා තත්ත්වයක්‌ සේ සලකා ඊට මුහුණ දිය යුතුව ඇතැයිද ඒ සඳහා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වටා ඒකරාශී විය යුතුයි.

ආචාර්ය ගුණදාස අමරසේකර
දේශහිතෛෂී ජාතික ව්‍යාපාර

-------------------------------------------------------------------

ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදුවී ඇත්දැයි එක්‌සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා විසින් පත්කළ ත්‍රිපුද්ගල කමිටුව විසින් ලබාදී ඇති වාර්තාව එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥප්තීන්ට, සාමාන්‍ය සම්ප්‍රදායන් හා සදාචාරයන්ට එරෙහිව ඉදිරිපත් කළ පෞද්ගලික ත්‍රස්‌තවාදී මෙහෙයුම් වාර්තාවක්‌. මෙම ත්‍රිපුද්ගල කමිටු වාර්තාවෙන් මේ රටේ ජනතාව හා ලෝකය පුරා විසිරී සිටින ත්‍රස්‌තවාදයට එරෙහි සාමකාමී සමස්‌ත ජාත්‍යන්තරයම අභියෝගයට ලක්‌වී තිබේ. මෙහිදී පක්‍ෂ පාට ජනවර්ගවලින් තොරව එකම ජාතියක්‌ ලෙස සියලුම දෙනා එක්‌විය යුතුයි.

ආචාර්ය ඕමල්පේ සෝභිහිත හිමි
ජාතික හෙළ උරුමය

-------------------------------------------------------------------

මේ වාර්තාව සම්බන්ධයෙන් අපි අනවශ්‍ය ලෙස කලබල වෙලා අනවශ්‍ය ප්‍රතිචාර දැක්‌වීමෙන් වැළකිය යුතුයි. නමුත් රටේ ප්‍රතිරූපය සම්බන්ධයෙන් ඉදිරියේ සිදුවිය හැකි වැඩකටයුතු සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම හා ඒ සඳහා ඉදිරි ක්‍රියාමාර්ග ගත යුතුයි. මෙහිදී ප්‍රධාන දේ විය යුත්තේ රටක්‌ ලෙස සියලුම බලවේග මෙවැනි සිද්ධිවලදී දේශපාලන කටයුතුවල නොයෙළී සියලු ප්‍රධාන පක්‍ෂ මේ වාර්තාව සම්බන්ධයෙන් ජාතික එකඟතාවකට හා ජාතික සම්මුතියකට පැමිණීමයි. ඒ සඳහා අපි රටේ ප්‍රධාන සියලුම දේශපාලන පක්‍ෂවලට යම්කිසි එකඟතාවකට එන්න කියා ආරාධනය කරනවා.

පූජ්‍ය අතුරලියේ රතන හිමි
පාර්ලිමේන්තු මන්ත්‍රී

-------------------------------------------------------------------

එක්‌සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අනුව අපේ රට ස්‌වාධීන රටක්‌. අපේ රට පිළිබඳ ක්‍රියාමාර්ග ගන්නවා නම් එක්‌සත් ජාතින්ගේ සම්ප්‍රදායට අනුව ක්‍රියා කළ යුතුයි. එක්‌සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්‌ඩලයෙන් ඒ සඳහා අවසර ගත යුතුයි.

හිටපු බ්‍රිතාන්‍ය විදේශ ඇමැතිවරයා එක්‌සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්‌ඩලයට ගියා අපේ රටට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න. එය ආරක්‍ෂක මණ්‌ඩලයේදී පරද වුණා. එමෙන්ම එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්‌ඩලය හරහාත් අපට විරුද්ධව චෝදනා ඉදිරිපත් කළා. එහිදී අපට විරුද්ධව ගෙනා යෝජනා පරාජයට පත්වෙලා අපේ රටට පක්‍ෂව ගෙනා යෝජනාව සම්මත වුණේ වැඩි ඡන්ද 2/3 කින්. එක්‌සත් ජාතීන්ගේ සංවිධානය තුළ ගනු ලැබූ නිත්‍යානුකූල රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාදාම සියල්ලන්ගෙන්ම ශ්‍රී ලංකා රජය නිදොස්‌වීමෙන් පසුවයි මෙවැනි රාජ්‍ය තාන්ත්‍රික ත්‍රස්‌ත ප්‍රහාරයක්‌ අපට එල්ල කරල තියෙන්නේ. මේ පිටුපස පැහැදිලිව ඇමරිකා එක්‌සත් ජනපදය හා බ්‍රිතාන්‍යය සිටිනවා.

ඇමැති පාඨලී චම්පික රණවක

-------------------------------------------------------------------

පසුගිය වසරේ ජුනි මස 22 වැනිදා අපි ඔබ ඉදිරියේ පළ කළ අනාවැකියක්‌ අද සැබෑවී තිබෙනවා. 2010 ජුනි මස 19 වැනිදා තමයි බෑන්කි මූන් මහතා තමන්ගේ ත්‍රිපුද්ගල කේවට්‌ට කමිටුව පත් කළේ. එදා අපි කිව්වා මේ කමිටුව පත් කිරීමේ යටි අරමුණ කුමක්‌ද කියලා.

මේ ත්‍රිපුද්ගල කමිටුවේ සිටින කේවට්‌ටයන් තිදෙනාගෙම අතීතයේ කළු පැල්ලම් රැසක්‌ තිබෙනවා. රාජ්‍ය නොවන සංවිධානවලින් මුදල් ගනිමින් ත්‍රස්‌තවාදීන්ට හිතවාදී ප්‍රකාශ කරමින් අතීතයේත් මොවුන් එක්‌සත් ජාතීන්ගේ මහ ලේකම්වරුන්ගේ කමිටුවල නියෝජිතයන්වී උතුරු කොරියාව, කාම්බෝජය වැනි රටවල ස්‌වාධිපත්‍යයට අහිතකර ලෙස මොවුන් වාර්තා නිකුත් කළ අඳුරු ඉතිහාසයක්‌ තමයි මොවුන්ට තිබෙන්නේ.

උදය ගම්මන්පිල
බස්‌නාහිර පළාත් ඇමැති

-------------------------------------------------------------------

මෙම වාර්තාව ඉදිරිපත් කර තිබෙන්නේ මානව හිමිකම් කඩවීම් පිළිබඳව සොයා බැලීමට නොවෙයි. මිලි බෑන්ඩ්, කුෂ්නර්, රොබට්‌ ඕබ්ලේක්‌ යන අයට වැඩිම රාජ්‍යතාන්ත්‍රික පා පහර වල් එල්ල වුණේ ශ්‍රී ලංකාවේදියි. එහි පළිය ගන්නයි ඔවුන් මේ උත්සාහ ගන්නේ.

ඒ වගේම තමයි ඔවුන්ගේ කුලී හමුදාවක්‌ දරුණු ලෙස පරාජයට පත්වුණු නිසා එහි වාඩුව ගන්න අවශ්‍ය වෙලා තිබෙනවා. මේ අය උත්සාහ ගත්තා යුද්ධය කොහොම හරි නවත්වන්න.

ප්‍රභාකරන් ඇතුළු නායකයන් එක්‌ තැනකට රැස්‌වෙලා බලාගෙන හිටියේ ඔවුන්ව මුදා ගැනීමේ ක්‍රියාන්විතයක්‌ සිදු වේවි කියලයි. ඔවුන්ට එය සාර්ථක කර ගන්න බැරිවුණා.

වෛද්‍ය වසන්ත බණ්‌ඩාර

-------------------------------------------------------------------


මේ ලෝකයේ සිටි භයානකම ත‍්‍රස්තවාදී නායකයා වේඵපිල්ලේ පිරභාහරන් බව අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ජාති, ආගම් බේදයකින් තොරව ජනතාව සමූල ඝාතනය කළා. ඉන්දියාවේ හිටපු අගමැති රජීවි ගාන්ධි මහතා ඝාතනය කළා. ශ‍්‍රී ලංකාවේ හිටපු ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාස මහතා, ගාමිණී දිසානායක මහතා, ලලිත් ඇතුලත්මුදලි මහතා ඇතුඵ දේශපාලන නායකයින් රැසක් ඝාතනය කළා. දොරේ අප්පාගේ සිට නීරන් තිරුචෙල්වම් දක්වා දෙමළ දේශපාලන නායකයින් රැසක් ඝාතනය කළා. ජීවිත පමණක් නොවෙයි, දේපළවලටද පිරිභාහරන් මහා විනාශයක් කළා. එවැනි භයානක ත‍්‍රස්තවාදී නායකයෙක් ඝාතනය කරපු එක යුධ අපරාධයක් කියලා කියන්නනේ කොහොමද? යුධ අපරාධ කරපු ත‍්‍රස්තවාදී නායකයෙක් ඝාතනය කිරීම යුධ අපරාධයක් කියලා බෑන් කි මූන්ගේ කමිටුව තීරණය කරන්නනේ කුමන පදනමකින්ද? 


ඒක නිසා මං පැහැදිලිවම එකක් කියන්නමි, ශ‍්‍රී ලංකාවේ රජයට හෝ රණවිරුවන්ට කිසිම අවස්ථාවක යුධ අපරාධ චෝදනා එල්ල කරන්න බෑන් කි මූන්ගේ කමිටුවට හැකියාවක් නැහැ. එකා මත්තේ එකා මැරුණත් අපි අපේ රාජ්‍ය නායකයාට හෝ රණවිරුවන්ට මෙම අසත්‍ය චෝදනාව එල්ල කරලා ජාත්‍යන්තර යුධ අධිකරණයට ගෙනියන්න දෙන්නේ නැහැ. ත‍්‍රස්තවාදය මු`ඵමනින්ම තුරන් කළ මහින්ද රාජපක්ෂ අතිගරු ජනාධිපතිතුමාට බෑන් කි මූන් මහතා විසින් මල්මාලයක් දැමිය යුතුයි.


මීට පෙරත් ශ‍්‍රී ලංකාවට එරෙහිව ඇතැම් ජාත්‍යන්තර රටවල් අභූත චෝදනා එල්ල කරද්දී රුසියාව, චීනය ඇතු`ඵ රටවල් ගණනාවක් එම චෝදනා ප‍්‍රතික්ෂේප කරමින් ශ‍්‍රී ලංකාව සමග එකට සිටියා. මේ අවස්ථාවේදීත් ඒ රටවල් හැම එකක්ම අපත් සමග සිටිනවා. මෙම කමිටුව විසින් එල්ල කරන ලද චෝදනා ශ‍්‍රී ලංකා රජය විසින් පැහැදිලිවම ප‍්‍රතික්ෂේප කරලා තියෙනවා.


මේ ගන්නේ පලියක්‌· අවුරුදු 30 ක්‌ තිස්‌සේ කිරි පොවලා හදපු ත්‍රස්‌ත ව්‍යාපාරයක්‌ විනාශ කිරීමේ පලියයි මේ ගන්නේ. රොබර්ට්‌ ඕ බ්ලේක්‌ එපා කියද්දී කරපු දේ පලිය ගන්නේ. ප්‍රංශ - බ්‍රිතාන්‍ය විදේශ ඇමැති යුද්දේ නවත්තන්න කියද්දී ගහපු එකේ පලිය මේ ගන්නේ. නැතුව යුද්දෙන් පස්‌සේ අපි නරක ළමයා වෙච්ච එකේ වාඩුව නොවෙයි මේ ගන්නේ. අපි ලෝකේ හොඳම ළමයා වුණත් මේ වාඩුව ගන්නවා.

විමල් වීරවංශ
ජාතික නිදහස් පෙරමුණේ නායක, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස සහ පොදු පහසුකම් අමාත්‍ය

-------------------------------------------------------------------

මෙම වාර්තාව උපයෝගී කර ගනිමින් ගෙන එන්නට තැත් දරන චෝදනා නියත වශයෙන්ම පරාජය වනු ඇත. ජගත් මහලේකම්වරයාගේ නීත්‍යානුකූල නොවන කි‍්‍රයා කලාපයට නීතිගරුක කිසිදු රටක් සහාය ලබානොදෙ.

වාසුදේව නානායක්කාර

-------------------------------------------------------------------

මෙරට රජය හෝ ආරක්‍ෂක හමුදා සමග සාකච්ඡා නොකර බෑංකී මූන් කමිටු වාර්තාව සකසා ඇති හෙයින් එමගින් අප රටට හානියක්‌ වන්නේ නැති වුවත් එමගින් නැවත වරක්‌ අප රටට විරුද්ධව මානුෂීය අයිතිවාසිකම් කවුන්සලය ඉදිරිපිට යෝජනාවක්‌ ගෙන ඒමේ හැකියාවක්‌ ඇත. ඒ හරහා අප රට යුද අපරාධ සිදු කළේ යෑයි පවසා ජාත්‍යන්තර යුද්ධාධිකරණය හමුවට ගෙන යැමේ හැකියාවක්‌ තිබේ.

අප රට යුද අපරාධ සිදු නොකර සාධාරණව යුද්ධය කළේ යෑයි ඔප්පු කිරීම ඉතාමත් ලෙහෙසි කාර්යයක්‌. ඒ සඳහා කටයුතු කිරීමට අපගේ අධිකරණයට බලය දිය යුතුයි.

අධිනීතිඥ ගෝමින් දයාසිරි

-------------------------------------------------------------------

තම පෞද්ගලික කැමැත්ත මත මෙබඳු කමිටු පිහිටුවීමත් ඒ කමිටු ලබා දෙන වාර්තා ඉස්‌ මුදුනින් පිළිගැනීමත් ලෝක සාමය සඳහා ගොඩනැඟුන සංවිධානයක ප්‍රධානියා අතින් සිදු නොවිය යුතු සාරධර්ම විරෝධී කටයුත්තකි. ලෝක යුද්ධ මානසිකත්වය බැහැර කිරීමට කටයුතු කරන එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ වත්මන් ප්‍රධානී බෑන් කී මූන් විසින් ත්‍රස්‌තවාදය ආරක්‍ෂා කිරීමට ගත් මේ පියවර එක්‌සත් ජාතීන්ගේ සංවිධාන ඉතිහාසය පුරා ගොඩනඟාගත් කීර්තියට අත් කර දී ඇත්තේ විශාල හානියකි.

මේ නොවැදගත් ක්‍රියාමාර්ගය නිසා එදා කොටි ත්‍රස්‌ත නායකයා පිළිබඳ මෙරට සමස්‌ත ජනතාව තුළ තිබූ පිළිකුලට හා සමාන පිළිකුලක්‌ අකැමැත්තක්‌ මෙරට ජනතාවගෙන් බෑන් කී මූන් හා ඔහුගේ කමිටුව වෙත පළවීම නොවැළැක්‌විය හැක්‌කේ කොටි භීෂණය නිසා තිබූ පීඩාව තවමත් මේ සමාජයේ ජීවත්වන පිරිසට අමතකව ගොස්‌ නැති බැවිනි. එසේ වුවත් ජනතාව සමඟ ජීවත්වන අධිෂ්ඨානශීලී නායකයකු වූ මහින්ද රාජපක්‍ෂ මහතා මෙබඳු බොළඳ ප්‍රයත්න මගින් සසල වන නායකයකු නොවේ.

ශාන් විජයලාල් ද සිල්වා

-------------------------------------------------------------------

බෑන් කී මූන්ගේ හඳ මේ රටට පෑව්වොත් දුප්පත් පොහොසත් බේදයක්‌ නැතිව එහි විපාක අපි සියලු දෙනාටම භුක්‌ති විඳින්න වෙනවා. එක්‌සත් ජාතීන්ගේ සම්බාධක පැනවෙන්න පුළුවන්, ඒ නිසා ජාති ආගම් බේද අමතක කර අපි මූන්ගේ කමිටුවට එරෙහිව නැගී සිටිය යුතුයි.

කොටි සංවිධානය මේ රටේ වෙහෙර විහාරස්‌ථාන වලට ගහල බැතිමතුන් ජීවිතක්‍ෂයට පත්කරා, මහා බැංකු බෝම්බය, කෝච්චි වල, බස්‌වල බෝම්බ පිපිරෙව්වා. මේවා ගැන මොන කමිටුවකින්වත් හොයල බැලුවද? ඒ නිසා මූන්ට ඕන විදියට මේ රට රුමේනියාවක්‌, ඉතියෝපියාවක්‌ කරන්න අපිට ඉඩ දෙන්න බැහැ.

ගලබොඩ ඥනිස්‌සර නාහිමි

-------------------------------------------------------------------

සෝවියට්‌ රුසියාවෙන් ආරම්භ කළ සමාජවාදී රටවල් විනාශ කිරීමේ බටහිර අධිරාජ්‍යවාදී බලවතුන් පෙරදිග ප්‍රබල මහ ජාතීන් සමග සම්බන්ධතා පවත්වාගෙන යන ශ්‍රී ලංකාව වැනි කුඩා රටවල් සහ මැදපෙරදිග රටවල් විනාශ කර දැමීමේ ප්‍රයත්නයක යෙදී සිටිනවා. කොටි සංවිධානයට පක්‍ෂපාතීව කටයුතු කළ සෝල්හයිම්ගේ මතය මූන්ගේ මතයට පදනම් වී තිබෙනවා

සරත් ඒකනායක
ප්‍රධාන අමාත්‍ය

-------------------------------------------------------------------

ගොනා හැරෙන්නේ පොල් පැළය කන්නටය යන කතාව ගොනා හැර මේ ලෝකයේ සියල්ලන්ම දන්නා කතාවකි. උපතේදීම දැකිය හැකි වෘෂභ ලක්‌ෂණ හැරුණු කොට මේ පුදුම විද්වත් මණ්‌ඩලයට වෘක ලක්‌ෂණ ද තිබේ. වඩාත් නිවැරදිව කියන්නේ නම් ඒවා වෘක ලක්‌ෂණ නොව ව්‍යාඝ්‍ර ලක්‌ෂණය. ඊටත් වඩා නිවැරදිව කියන්නේ නම් ඒවා ව්‍යාඝ්‍ර ලක්‌ෂණවලට වඩා කොටි ලක්‌ෂණය.


මෙම විද්වත් කමිටුවේ තිදෙනාම වූ කලී ලෝකයේ ජාත්‍යන්තර කටයුතු විෂයෙහි කීර්තිමත් පුද්ගලයෝ නොවෙති. රාජ්‍ය නොවන සංවිධානවල මුදල්වලින් යෑපෙමින් ලෝක ප්‍රකට ත්‍රස්‌තවාදී සංවිධාන වෙනුවෙන් වරින් වර පෙනී සිටි මේ පුද්ගලයන්ට උතුරු කොරියාව, කාම්බෝජය වැනි රටවලට පා තබනු තබා උඩින් පියාසර කිරීමටවත් නොහැකිය.

ජාත්‍යන්තර කටයුතු මේ තරම් හෑල්ලුවකට ලක්‌ කළ ප්‍රථම එක්‌සත් ජාතීන්ගේ මහලේකම්වරයා බෑන් කී මූන් ද නැද්ද යන්න අපි නොදනිමු. නමින් "විද්වත්" වූවාට මෙහි පරමාර්ථය ත්‍රස්‌තවාදයක්‌ සමඟ බිහිසුණු සටනකින් ජයගත් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක්‌ යළිත් නොමිලේම ත්‍රස්‌තවාදීන් අතට පත්කිරීමය.

දිවයින කතුවැකිය
2011/04/21


-------------------------------------------------------------------


එසේම ඉකුත් කාලයේ ගාසා තීරයේ සිදුවූ යුද අපරාධ සම්බන්ධයෙන් ප්‍රකාශ කෙරුණු ගෝල්ඩ්ස්‌ටෝන් වාර්තාව මගින් ඊශ්‍රායලයට චෝදනා නැගෙද්දී එම වාර්තාව වැරැදි සහගත බව ගෝල්ඩ්ස්‌ටෝන් මහතාම පසුව ප්‍රකාශ කිරීම නිසා එය ඉවතට විසිවිය. එම අවස්‌ථාවේ ත්‍රස්‌තවාදයට එරෙහිව සටන් වදින රාජ්‍යයන්ට ගෝල්ඩ්ස්‌ටෝන් වාර්තාව මගින් ප්‍රබල බලපෑමක්‌ එල්ල වන බව ඇමරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්‌ලින්ටන් මහත්මිය පැවැසූවා.

විද්වත් කමිටුව පත්කළේ තමන්ට උපදෙස්‌ ලබා ගැනීමට බව බෑන් කී මූන් මහතා එදා පවසද්දී විද්වත් කමිටු සාමාජිකයන්ද එය පිළිගත්
තා. ඉහත කරුණු දෙස බැලීමේදී එම වාර්තාව එළිදැකීම නීතිමය හා සදාචාරාත්මක නොවන බව සඳහන් කළ .


ඉතා දුෂ්කර යුගයක්‌ පසුකර සියලු ජාතීන් සමඟ ඉදිරි ගමනක්‌ යැමට සැරසෙන ශ්‍රී ලංකාවට එක්‌සත් ජාතීන්ගේ සංවිධානයෙන් සිදුවිය යුතු වන්නේ ඒ සඳහා ධෛර්ය ලබා දීමය.



මහාචාර්ය ජී. එල්. පීරිස්‌
විදේශ ඇමැති


-------------------------------------------------------------------



බෑන් කී මූන්ගේ විද්වත් කමිටු වාර්තාව එක්සත් ජාතීන්ගේ එකක් නෙමෙයි. එසේම එම ඊනියා විද්වත් කමිටුව පත් කලෙත් එක්සත් ජාතීන් නෙමෙයි. මෙය තනිකරම බෑන් කී මූන් නැමැති ඇමරිකානු රූකඩය විසින් ඔහුගේ තිනි මතයට පත් කෙරුණු බොරු කමිටුවක්. මේ කමිටුවේ කිසිදු වලංගුභාවයක් නැත්තේ ඒ නිසයි.

ඇමරිකාව අද පහර දෙන්නේ ඔවුනට අවනත නොවී කටයුතු කරන රටවලට විතරයි. ක‍්‍රිස්තියානි නොවන රටවලට පහරදීම ඇමරිකාවේ තවත් විනෝදාංශයක්. 
බෑන් කී මූන් ඊනියා විද්වත් කමිටුව පත් කලේ ඇමරිකාවේ හිලරි ක්ලින්ටන් සහ බ්ලේක් යන දෙදෙනාගේ අවහ්‍යතාව අනුවයි. මූන් ඔහුගේ තනතුරට නොගැලපෙන අයුරින් පමණ ඉක්මවා කටයුතුකරන අධිරාජ්‍යවාදී රූකඩයක්.

ත‍්‍රස්තවාදය පරාජය කල අපේ නායකයන් දංගෙඩියට යැවීම අධිරාජ්‍යවාදීන් හිතන තරම් පහසු කටයුත්තක් නෙමෙයි. ශ‍්‍රී ලංකාව කුඩා වුවත් ශක්තිමත් ජන පදනමක් සහිත සුවිශේෂී රාජ්‍යයක්. ත‍්‍රස්තවාදය සාර්ථකව නිමාකර ලොකයට විශිෂ්ඨ ආදර්ශයක් දුන් රාජ්‍යද ශ‍්‍රී ලංකාවයි. බෑන් කී මූන්ලාගේ මෙම ක‍්‍රමන්ත‍්‍රණයට දැනටමත් රුසියාව සහ චීනය විරෝධය දක්වා අවසන්.

බෑන් කී ඊනියා මූන්ගේ විද්වත් කමිටුව හමුවේ බොරු සාක්‍ෂි දුන් ශ‍්‍රී ලංකා පුරවැසියන් සියළු දෙනා මෙරටට ගෙනැවිත් රාජද්‍රෝහී චෝදනාව යටතේ නඩු පැවරිය යුතුයි. අනතුරුව ඔවුන්ට නියම කල යුත්තේ එල්ලූම් ගස මිස වෙනත් දෙයක් නෙමෙයි. 
බෑන් කී මූන් පිටුපස ක‍්‍රියාත්මක වන දේශීය රූකඩ අතරේ අම්බලන්ගොඩ රූකඩයක්ද සිටිනව.

මහාචාර්ය නලින් ද සිල්වා
චින්තන පර්ෂදයේ ලේකම් 

-------------------------------------------------------------------

එක්සත් ජෘත්න්ගේ මහලේකම් බෑන් කී මූන්ගේ කමිටුව විසින් ඉදිරිපත් කර ඇති වාර්තාව මෙරට සමස්ත දෙමළ ජනතාව හෙළා දකිනව. මෙරට සිංහල දෙමළ ජනතාව අතර නැවත වතාවක් බෙදුම්වාදය ඇති කිරීම සඳහා ජගත් මහලේකම්වරයා කටයුතු කරයි. ඔහුගේ එම කි‍්‍රයාවලිය හෙළා දකිමින් තමන් ඉදිරියේදී විරෝධතා ව්‍යාපාරවල නිරත වීමට සූදානම්.

විනයාගමුර්ති මුරලිදරන්
නැවත පදිංචි කිරිමේ නියෝජ්‍ය අමාත්‍ය 


-------------------------------------------------------------------


අපේ රට ආසියාවේ වේගයෙන් දියුණු වෙන රටක්‌ ලෙස ජාත්‍යන්තරය පිළිගෙන තියෙනවා. ටයිම්ස්‌ සඟරාව කියනවා ලෝකයේ දක්‌ෂතම දේශපාලනඥයා ශ්‍රී ලංකා මහින්ද රාජපක්‌ෂ මහතා කියලා. බෑන් කී මූන්ලා මේ කරන්නේ අප රටේ සංවර්ධනය අඩාල කිරීමට කුමන්ත්‍රණයක්‌. බෑන්කීමූන් කටයුතු කරන්නේ ඒකපාක්‌ෂිව කියල අපි චෝදනා කරනවා. රටවල් සියයකට ආසන්න රටවල් ඇතුළත් එක්‌සත් ජාතීන්ගේ මහලේකම්වරයා ලෙස බෑන්කීමූන් අත්තනෝමතිකව කටයුතු කරන්නේ. බෑන්කීමූන්ගේ ක්‍රියාකලාපය බලන විට ඔහු තනිකරම කොටි වලිගයක්‌. යුද්දයෙන් පීඩා විඳි අප රටේ ජනතාව ඔහුට විරෝධය දක්‌වනවා.


එස්‌. එම්. චන්ද්‍රසේන
ගොවිජන සේවා ඇමැති 

-------------------------------------------------------------------

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එවැනි සොයාබැලීමක්‌ කිරීම මහලේකම්වරයාට උපදෙස්‌ දීමට පත්කළ කමිටුවකට එක්‌සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්‌ඩලය කිසිදු බලයක්‌ දී නොමැත. මෙය එම සංවිධානයේ නෛතික බලයක්‌ නොමැති ව්‍යවස්‌ථා විරෝධී කමිටුවක්‌. මහලේකම්වරයාට උපදෙස්‌ ලබාදීම හැර ඉන් එහාට කටයුතු කිරීමට බලයක්‌ දී නොමැති කමිටුවකට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එවැනි සොයාබැලීමක්‌ කිරීමට සදාචාරාත්මක අයිතියක්‌ නැත.

එල්. ටී. ටී. ඊ. අනුගාමිකයන් 4000 ක්‌ දීපු පෙත්සම් මත පදනම්ව සකස්‌ කර තිබෙන එම වාර්තාවේ අඩංගු එක කරුණක්‌ හෝ ඔප්පු කර පෙන්වන ලෙස තමා බෑන්කී මූන්ට අභියෝග කරනවා.



ඩලස්‌ අලහප්පෙරුම


-------------------------------------------------------------------



ත්‍රස්තවාදීන්ගේ බිහිසුණු ක්‍රියා සියැසින් නොදුටු ජගත් මහලේකම් බෑන් කී මූන් මේ රටේ සිදුකළ මානුෂීය මෙහෙයුමට එරෙහිව වාර්තා ඉදිරිපත් කිරීම හාස්‍යයට කරුණක්. 
යාපන අර්ධද්වීපයේ රැඳී සිටි එකම ස්වාමීන්වහන්සේ තමා බවත් ත්‍රස්තවාදීන් සිදුකළ භීෂණය තමන් වහන්සේ සියැසින් දුටු බවත් පවසන උන් වහන්සේ බිහිසුණු ත්‍රස්තයන් සිදු කළ භීෂණය නොදුටු ජගත් මහ ලේකම්වරයා මෙවැනි වාර්තාවක් ඉදිරිපත් කිරීම පිළිබඳව කනගාටුවනවා.

රටේ ජනතාවට ස්ථිරසාර සාමයක් උදාකිරීම පිළිබඳව  ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පුණ්‍යානුමෝදනා සිදුකරන අතර රට මුදාගත් පින්කමේ නාමයෙන් කිසිදු ජාත්‍යන්තර බලවේගයකට ජනාධිපතිතුමාට එරෙහිව යාමට නොහැකියි.

නවඳගල පදුමකිත්ති නාහිමි
උතුරු පළාත් ප්‍රධාන සංඝනායක, නාගදීප රජ මහා විහාරාධිපති 

-------------------------------------------------------------------

තිස්‌ අවුරුද්දකට වැඩි කාලයක්‌ අහිංසක මිනිසුන් දහස්‌ ගණනක්‌ අමු අමුවේ ඝාතනය කරද්දී නිහඬව සිටි විදේශීය කණ්‌ඩායම් මානුෂික මෙහෙයුම අවසානයේදී සිදුවුණු එක පුද්ගලයකුගේ මරණය සම්බන්ධයෙන් ප්‍රශ්නයක්‌ ඇතිකරගෙන තිබේ. යුග පුරුෂයකු ලෙස ශ්‍රී ලංකාවේ සාමය සහ ජාතික සමගිය තහවුරු කිරීම සඳහා ලෙස කටයුතු කරමින් 30 වසරක ත්‍රස්‌තවාදය පරාජය කළ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මේ රට ස්‌ථාපිත කළ නිදහස යළි පළුදු වීමට ඉඩ නොතකා ආරක්‌ෂා කරමු

දි.මු. ජයරත්න
අගමැති

No comments: