Friday, September 2, 2011

ප්‍රභූ ආරක්‍ෂක රථ, මේ රටට වසංගතයක්‌

ඇමැතිවරුන්ට ආරක්‍ෂාව අවශ්‍යද? අපගේ වැටහීම වන්නේ ඇමැතිවරුන් කිහිප දෙනකුට හැර අන් අයට කිසිදු ආරක්‍ෂාවක්‌ අවශ්‍ය නැති බව ය. ඔවුන් ආරක්‍ෂා විය යුත්තේ ඔවුන් අතින් අපහරණය වූ මිනිසුන් අතිනි. (මෙය අදාළ වන්නේ එවැනි අපහරණ කටයුතුවල නිරත වූ ඇමැතිවරුන්ට පමණි.)


අපගේ වැටහීම වන්නේ මෙය එක්‌තරා විකෘති මානසික තත්ත්වයක්‌ බව ය. වැලේ වැල් නැතිව වේලි වේලී සිට මැති ඇමැති තනතුරු ලද පසු තමා වටා පිරිස රොක්‌වන ආකාරය දැකීමටද, තමාට යන යන තැන සිටින මිනිසුන් සර් කියනු දැකීමට ද තමා වටා ආරක්‍ෂක වළල්ලක්‌ තිබෙනු දැකීමට ද පැජරොවේ හෝ. බී. එම්. ඩබ්ලිව්. නිල රථයේ පිටුපස තමා හිඳගෙන යන විට ඉදිරියෙන් හා පිටුපසින් ආරක්‍ෂක රථ දෙකක්‌ යනු දැකීමට ද ප්‍රියකරන දේශපාලනඥයෝ අප අතර සිටිති. මෙබඳු අයට ආරක්‍ෂාව සැපයීම සඳහා ආරක්‍ෂකයෝ දහස්‌ ගණනක්‌ වෙති. එසේම මෙබඳු අය පිරිවරා ගෙන යැමට රථ තුන්හාරසියයක්‌ වෙන් කර තිබේ. දැනට මේ රටේ ආරක්‍ෂාවට අවශ්‍ය වන්නේ ජනාධිපතිතුමාටත්, සදාකාලික කොටි ඉලක්‌කයක්‌ වූ ආරක්‍ෂක ලේකම්ටත් තවත් ඇමැතිවරු එක්‌කෙනකු හෝ දෙදෙනකුටත් පමණි. සෙසු මැති ඇමැතිවරුන් මහපාරේ ඇවිදිමින් සිටියත් කවුරුවත් ඔවුන් ගණන් නො ගන්නවා ඇත.


මැති ඇමැතිවරුන් පාරේ යන විට පාරවල් වසන්නට සිදු වන්නේ නම් ඔවුන් පාරේ නොගොස්‌ ගෙදර සිට රාජකාරි කළ යුතු බවට මෙයට දෙවසරකට පෙර නවදිල්ලියේ විනිශ්චයකාරවරයකු නඩු තීන්දුවකින් නියම කළේ ය. එය විදේශික අත්දැකීමකි. ඒ හා සමාන නො වුණත් ආරක්‍ෂක ප්‍රශ්නයට අදාළ දේශීය අත්දැකීමක්‌ මෙසේ ය. ළඟදී නියෝජ්‍ය පොලිස්‌පතිවරයකු ආරක්‍ෂක රථ, ආරක්‍ෂක මෝටර් බයිසිකල් පිරිවරාගෙන කොළඹ ගංගාරාමයට ගියේය. එතුමා පන්සල තුළට යන අතර දුටුවේ කුමක්‌ ද? යාබද රථ ගාලේ රිය නවත්වා තනිවම හා පයින්ම පන්සල වෙත එන පොලිස්‌පති ඉලංගකෝන් මහතා ය.

හැදෙනවා නම් හැදෙන්නට මේ පාඩම ම ඇති.


http://www.divaina.com/2011/09/02/editor.html