Monday, October 11, 2010

කඩුව බිම දාන්නේ කව්ද ?

ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදයට අභීතව මුහුණ දුන් රාජ්‍ය නායකයා මහින්ද වූ අතර ඒ ත්‍රස්‌තවාදී වියරුවට සේනා සංවිධානය කළ මහමොළය වූ ආරක්‍ෂක ලේකම් ගෝඨාභයයි. සරත් ෆොන්සේකා යනු ඒ ගෝඨාභයගේ තෝරා ගැනීම විය. ඒ තෝරා ගැනීම් නොවන්නට අද ෆොන්සේකා පිළිබඳ කිසිවකුට කතා කිරීමට තරම් දෙයක්‌ද නැත.

සරත් ෆොන්සේකා ඒ වීර ඉතිහාසය තුළ නියත වශයෙන්ම ගෞරවනීය භූමිකාවකට හිමිකම් කියයි ඒ ගෞරවයත්, ජන ප්‍රසාදයත් පිළිබඳ නිසි මැනීමක්‌ ඔහුට වී නම් ඔහු කිසිසේත් අද සිටින ඉරණමට පත් නොවන බව මගේ අදහසයි. ෆොන්සේකා තම සේනාධිනායකයාට එරෙහිව දේශපාලන සටන් බිමට ඇද දමන ලද බලවේග තවමත් අපි හරිහැටි හඳුනා ගෙන නැත්තෙමු. එහි මතුපිටම පෙනෙන බලවේග බවට එ. ජා. පය හා ජ. වි. පෙ. දැනට හඳුනා ගෙන තිබුණත් එය ඊට වඩා සංවිධානාත්මක බලවේගයක්‌ විය හැකි බවට සාධාරණ සැකයක්‌ද තිබේ.

මානුෂික මෙහෙයුම් ක්‍රියාත්aමක වූ කාලයේ ෆොන්සේකා රාජපක්‍ෂ සහෝදරවරුන් පිළිබඳ පළ කළ ගෞරවය හා පක්‍ෂපාතිත්වය කෙතරම් ව්‍යාජ එකක්‌දැයි සිතෙන තරමටම ඔහුගේ දේශපාලනය ආරම්භයේදීම කරුණු පෙළ ගැසුණි.

ජනාධිපතිවරණ සමයේදී ෆොන්aaසේකා හැසිරුණේ දේශපාලන ආධුනිකයකු ලෙස හා දැඩි ආඥදායකයකු ලෙසය. ඔහුගේ ශබ්ද කෝෂයේ තිබුණු ඇතැම් වචන ඉතා දැඩි විය. වෛරයේ ගිනි පුපුරු සමග නිකුත් වූ "පාහරයා" කලවැද්ද වැනි වචන හරියටම වෙඩි උණ්‌ඩ තරම්ම නිර්දය විය. සිය විරුද්ධවාදීන්ට පැදුරු කොට්‌ට සමග ලෙවකෑමට වුවමනා තරම් කටු ලබාදෙන බවද ඔහුගෙන් කියෑවිණි. තමා ජනාධිපති වීමෙන් පසු සිර ගෙවල්වලට යවන අය ගැනද ඔහු බොහෝ විට ප්‍රකාශ කළේය. ෆොන්සේකාගේ දේශපාලන හැසිරීම් මෙන්ම ඔහුගේ සාහසික ප්‍රකාශ පිළිබඳවද මේ රටේ බහුතර ජනතාව තුළ වූ ආකල්පය මැනවින් පිළිබිඹු වූයේ ජනාධිපතිවරණ ප්‍රතිඵලය නිකුත් වීමෙන් පසුවය.

ජනාධිපතිවරණය වන විට ෆොන්සේකාගේ කඳවුරට අයත් වූයේ ඕනෑම ගොනෙකුට යුද්ධ කළ හැකි යෑයි කී අය මෙන්ම කිලිනොච්චිය හා මැදවච්චියත් අලිමංකඩ හා පාමංකඩත් පටලවා ගත් අයයි. මහින්දගේ කඳවුර සියලු දේශප්‍රේමි බලවේග එක්‌ කළ වේදිකාවක්‌ බවට පත්ව තිබිණි. ඇත්තටම ජනාධිපතිවරණය මහින්ද හා ෆොන්සේකා අතර කරට කර සටනක්‌ බවටවත් පත්ව තිබුණේ නැත. "දැන වෙළඳන් - නොදැන ගොවිතැන්" කීවා සේ ෆොන්සේකා නොදන්න දේශපාලනය නිසා මහත් අයසකට පත් විය. ජනාධිපතිවරණයෙන් පසු රනිල් ඔහු තනි කළ අතර සෝමවංශ සමග තවත් දේශපාලන අත්හදා බැලීමක්‌ කළ ෆොන්සේකාට ඉතිරි වූයේ මන්ත්‍රී ධුරයක්‌ පමණි. ඒ වන විට ඔහු රාජපක්‍ෂ පවුලේ දේශපාලන ප්‍රතිවාදියා වෙනුවට රාජපක්‍ෂවරුන්ගේ පරම සතුරා බවටද පත්ව සිටියේය.

දේශපාලනය යනු ප්‍රජාතන්ත්‍රවාදී මාවත ඔස්‌සේ ඇදී යන බල අරගලයක්‌ වුවද ෆොන්සේකා සිය දේශපාලනයේ අරමුණ බවට පත් කර ගත්තේ වෙනත් පෞද්ගලික අරමුණු බවද පෙනුණි. මහින්දගේ දේශපාලන පරිණත භාවයෙන් දසමයක්‌ තරම් වත් නොවූ ෆොන්සේකා හමුදා ශෛලියේ දේශපාලන අත්හදා බැලීමක නිරත වී දැයි සිතෙන තරමටම දැඩි චරිතයක්‌ සේ ක්‍රියාත්මක වන්නටද විය. එහි ප්‍රතිඵලය වූයේ ඔහුට දේශපාලන වශයෙන් මෙන්ම වෙනත් නීතිමය වශයෙන්ද පිළිතුරු දීමය.

ෆොන්සේකාට ලබා දුන් සිරදඬුවම පිළිබඳව අද දෙවිධියක ප්‍රතිචාර දැක ගත හැකිය. එක්‌ පාර්ශ්වයක්‌ තර්ක කරන්නේ හොඳම යුද හමුදාපතිවරයාට එබඳු දඬුවමක්‌ දීම නොමනාය යන පදනම මත පිහිටමින්ය. ත්‍රස්‌තවාදයට දායක වූ අය මෙන්ම ප්‍රභාකරන්ගේ සුරත බඳු වූ කේ. පී. වැනි චරිත නිදහසේ සිsටිද්දී ෆොන්සේකා සිර ගත කිරීම අපරාධයක්‌ බව ඔව්හු කියති. එහෙත් හොඳම හමුදාපතිවරයකුට වුවද නරක වැඩ කිරීමට ඉඩක්‌ නැති බවත් එහිදී ඔහු දඬුවම් ලැබිය යුතු බවත් අනෙක්‌ පාර්ශ්වය කියයි. මේ හැර ඔහුට එරෙහිව යුද අධිකරණයක්‌ ක්‍රියාත්මක කළ නොහැකි යෑයි කියන අය ද සිටිති. එහෙත් යුද සේවයේ සිටි යුද හමුදාපතිවරයකුට එරෙහිව යුද අධිකරණයක්‌ නුසුදුසු ද?

යුද අධිකරණ පිළිබඳව කතා කරන කාටත් වඩා ඒ පිළිබඳව ෆොන්සේකාට වැටහීමක්‌ද අත්දැකීම්ද බහුලව තිබේ. ඔහු විසින් යුද අධිකරණ ඉදිරියට පමුණුවන ලද හා එමගින් දඬුවම් කරවන ලද පිරිස පන්දහසකට නොඅඩු බවද කියති. සිය හමුදා ජීවිතය තුළ ඔහු විසින් කරන ලදැයි කියෑවෙන අසාධාරණ දඬුවම් පැමිණවීම් ගැනද වාර්තා තිබේ.

ජනාධිපති සමාව ලබාගත හැකි ක්‍රමවේදයක්‌ තිබෙන අතර ඒ සඳහා ඉදිරිපත් විය යුත්තේ ෆොන්සේකා පවුලේ උදවියයි. අනෝමා හෝ ෆොන්සේකා දියණිවරුන්ට ඒ සඳහා ඉදිරිපත් විය හැකිය. සමාව ඉල්ලීමේ ශිෂ්ට සම්ප්‍රදායද එයයි. අහංකාර පර්වශ නොනැමෙන හිසක්‌ සහිත පුද්ගලයන් සමාව නොඉල්ලන බවද අපි දනිමු. එහෙත් සමාව ඉල්ලීම අයුතු ක්‍රියාවක්‌ ලෙස සලකන්නේ නම් කිසිම කෙනෙක්‌ ඔහු වෙනුවෙන් හෝ සමාව ඉල්ලීම නොකළ යුතුය.

මහින්ද රාජපක්‍ෂ යනු මේ රටේ ප්‍රථම ගෞරවනීය පුරවැසියා මෙන්ම රාජ්‍ය නායකයා ද වේ. ඔහුට ගරු කිරීම කිසිවකුට මදි පුංචි කමක්‌ ද නොවේ. කලකට ඉහත ෆොන්සේකා සිය නිලය දරද්දී උතුමාණන් යනුවෙන් ජනාධිපති අමතා ඔහුට ආචාරය ද පිරිනැමූ හමුදා ප්‍රධානියාය. නිල ඇඳුම දරද්දී කළ දේ දැන් නොකළ යුතුයෑයි සමහරු කල්පනා කරත්ද? එහෙත් සමාව යනු ප්‍රදානයක්‌ මිස නීතිමය අයිතිවාසිකමක්‌ නොවේ. සමාව දීම උතුම් මිනිස්‌ ගුණයකි. එහෙත් දැන් ඒ මිනිස්‌ ගුණ හෝ රාජ්‍ය තාන්ත්‍රික බැමි සිඳී ගොස්‌ තිබේ. ඒ නිසා සමාව ඉල්ලන තෙක්‌ නොදීම වරදක්‌ ලෙස කිව හැකිද?

ෆොන්සේකාගේ කළු චරිතය සුදු වූයේ නම් ඒ රාජපක්‍ෂලා නිසා බවද අප පිළිගත යුතුය. ඔහුගේ වැරැදි එළියට එන්නේ ඔහු ශුද්ධ වන්තයකු හා වීරයකු ලෙස බෞතීස්‌ම කිරීමට ගන්නා ප්‍රයත්නය තුළය. ජනමාධ්‍යවේදීන් සම්බන්ධ සිදුවීම් කීපයකදීම ඔහුට ඇඟිලි දිගු විය. ඒවා පාවෙන චෝදනාවලට වඩා පදනම් සහිත චෝදනා බව නිසැකය. ඔහු සිය නිල කාලය තුළ විවේචනය නොඉවසුවා පමණක්‌ නොව එබඳු අය සමග අමනාපයකින්ද සිටි බව අපි දනිමු.

සිය දේශපාලන භූමිකාව තුළ ෆොන්සේකා වපුරන්නේ වෛරයම නම් එහි අස්‌වැන්නද වෛරය පමණි. ඒ නිසා පළමුව වෙනස්‌ විය යුත්තේ ඔහුත් ඔහුගේ මාර්ගයෙන් රාජපක්‍ෂලාට පාඩම් ඉගැන්වීමේ ලේසි මාර්ගය ප්‍රයෝජනයට ගන්නා අයත් ය. රාජපක්‍ෂලාට පාඩමක්‌ ඉගැන්විය යුතු නම් ඒ සඳහා ප්‍රජාතන්ත්‍රවාදී ශික්‍ෂණයක්‌ මෙන්ම ජනතා ප්‍රසාදයද වුවමනාය. රාජපක්‍ෂවරුන්ට ජනතාව දක්‌වන ගෞරවය හා කැමැත්ත සොරා ගැනීමට හෝa පුරසාරම් මගින් විනාශ කිරීමට බැරි බව අමුතුවෙන් කිව යුතු නැත.

- මේඝ


No comments: