Tuesday, October 12, 2010

විශ්වාස භංග විවාදයේදී විදේශ ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස්‌ මහතා කළ කතාව ඇසුරිනි

මේ රටේ විරුද්ධ පක්‍ෂයේ නායකතුමා විදේශීය රටකට ගිහිල්ලා විදේශීය ප්‍රවෘත්ති පත්‍රයකට ප්‍රකාශයනයක්‌ කරනවා. මේ රටේ වැඩ කටයුතුවලට, මේ රටේ තීරණවලට යුරෝපා කොමිසම මැදිහත් විය යුතුය කියලා. මේවා පෞද්ගලික ප්‍රශ්න නොවෙයි. දැන් මේ නිකම්ම නිකම් පුද්ගලයෙක්‌ නොවෙයි, මේ ප්‍රකාශනය කරන්නේ. මේ රටේ විරුද්ධ පක්‍ෂයේ නායකතුමායි. දැන් පොඩ්ඩක්‌ හිතලා බලන්න. යුරෝපීය සංගමය කොහොමද මේ ගැන හිතන්නේ? දැන් කවුද මේ ඉල්ලීම කරන්නේ? මේ ඉල්ලීම කරන්නේ මේ රටේ විරුද්ධ පක්‍ෂයේ නායකතුමායි. මොකක්‌ද විරුද්ධ පක්‍ෂයේ නායකතුමා කියන්නේ. මේකට මැදිහත් වන්නය කියලයි. ජීවිතයට අහලා තිබෙනවාද මේ වාගේ දේවල්? ලෝකයේ කොහේවත් පක්‍ෂ නායකයෙක්‌ විදේශීය ආණුඩුවකට කියනවාද මේ රටට මැදිහත් වෙන්නය කියලා. ඒ පැහැදිලි ප්‍රත්‍යක්‍ෂ ඉල්ලීම තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ හින්දු පත්තරයෙන් කරන්නේ. මම මේ ලියවිල්ල සභාගත කරනවා.

මෙතැන තිබෙන ප්‍රධාන ගැටලුව මොකක්‌ද? දේශපාලන නායකයකුට ආත්ම ශක්‌තියක්‌ තිබෙන්න ඕනෑ. විශ්වාස භංගය අනික්‌ පුද්ගලයන්ට ගේන්න ඉස්‌සර වෙලා තමන් ගැනම විශ්වාසයක්‌ ඕනෑ. තමන්ට කරන්න බැරි දේවල් විදේශීය ආණ්‌ඩු ලබා කරවා ගන්නයි හදන්නේ. විදේශීය ආණ්‌ඩුවකට කියනවා මේ රටේ කටයුතුවලට මැදිහත් වන්නය කියලා. නැත්නම් යුරෝපීය සංගමයට මෙහෙම සිතුවිල්ලක්‌ පහළ වෙනවාද. මේ රටේ ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත සම්බන්ධයෙන් බ්‍රසල්ස්‌ නගරය නොවෙයි තීරණය ගන්නේ. ඒ තීරණ ගන්නේ මේ ගරු පාර්ලිමේන්තුව හා මේ රටේ ආණ්‌ඩුවයි. එතකොට ඇයි එහෙම නම් ඒ අය මෙහෙම අරුම පුදුම ක්‍රියාමාර්ගකට අවතීර්ණ වන්නේ? රනිල් වික්‍රමසිංහ මැතිතුමා තමයි යුරෝපීය සංගමයෙන් ඉල්ලා සිටියේ මේ රටේ වැඩකටයුතුවලට මැදිහත් වන්නය කියලා.

අනිත් කාරණය මේකයි. GSP+ ප්‍රශ්නය පිළිබඳව ඉතාමත් තීරණාත්මක සාකච්ඡාවක්‌ 2008 වර්ෂයේ මැයි 12 වැනි දා බ්‍රසල්ස්‌ නගරයේදී පැවැත්වුණා.මම ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා හැටියට මම ඒකට සහභාගි වුණා. අනික්‌ පැත්තෙන් හිටියේ මේ තීරණය කෙළින්ම ගන්න වගකීමක්‌, බලයක්‌ තිබෙන බෙනීටා ෆෙරේරෝ වොල්ඩ්නර් මැතිනියි. එතුමියගේ අතේ තිබෙනවා ඊට දවස්‌ පහකට ඉස්‌සර වෙලා රනිල් වික්‍රමසිංහ මැතිතුමා එතුමියට එවපු ලියුමක්‌. රනිල් වික්‍රමසිංහ මැතිතුමා එතුමියට කියනවා, අපේ රජය ගත් ක්‍රියාමාර්ග ප්‍රමාණවත් නැහැය කියලා. මේවා ඒ පැත්තෙන්මයි අපිට එන්නේ. මම කොහොමද බොනීටා ෆෙරේරෝ වොලිඩ්නර් මැතිනියට යවන ලියුමක්‌ දකින්නේ? ඒ ලියුම දැන් අපි ළඟ තිබෙනවා. මම ඒක මේ අවස්‌ථාවේ සභාගත කරනවා.

එක ප්‍රධාන කරුණක්‌ තමයි, GSP PLUS සහනය තබා ගැනීමට මට නොහැකි වුණාය කියන කාරණය. එය සම්පූර්ණයෙන් වැරැදියි. ඒක (GSP+) විනාඩි පහකින් ලබා ගන්නට තිබුණා. ඒකෙ ඇත්ත කතාව මෙයයි. 2010.06.17 වැනිදා යුරෝපීය කොමිෂන් සභාවේ මේ විෂයට අදාළ කොමසාරිස්‌වරිය වන කැතරින් ඈෂ්ටන් ආර්යාව විසින් මගේ රටේ විදේශ කටයුතු ඇමැති හැටියට මට ලියුමක්‌ එව්වා. ඒ ලිපියේ එතුමිය සඳහන් කරනවා. "අපි මේක දෙන්න සූදානම් හැබැයි, කොන්දේසිවලට යටත්ව" කියලා කොන්දේසි 15 ක්‌ එතුමිය සඳහන් කර තිබුණා. හැබැයි, රජයක්‌ හැටියට අපි තීරණය කරන්නට ඕනෑ මේක ගත යුතු දෙයක්‌ ද අවසානයේදී රටට වෙන්නේ වැඩක්‌ද, අවැඩක්‌ද, ප්‍රයෝජනයක්‌ද හානියක්‌ ද කියලා.. මොනවාද මේ කොනේදේසි? මේ රටේ හදිසි රෙගුලාසි ක්‍ෂණිකව අකුලා ගන්නට ඕනෑ. ඒවා අහෝසි කරන්නට ඕනෑ ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත අහෝසි කරන්නට ඕනෑ. හදිසි නීති රෙගුලාසි යටතේ අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයන් නිදහස්‌ කරන්නට ඕනෑ මේ රටේ උත්තරීතර අධිකරණය වන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවකට විරුද්ධව විදේශීය අධිකරණයකට යැමට මේ රටේ පුරවැසියන්ට පූර්ණ බලතල දෙන්නට ඕනෑ. ආත්ම ගරුත්වයක්‌ ඇති රජයකට මේවා කිසිසේත් පිළිගන්නට පුළුවන් කොන්දේසි නොවෙයි. මා ඉතාමත් ආඩම්බර වනවා ගරු මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ අපේ කැබිනට්‌ මණ්‌ඩලයත් ඉතාමත් ඉක්‌මනින් තීරණය කළා මේ කොන්දේසි පිළිපදිනවා තබා මේවා ගැන සිතා බලන්නටවත් පුළුවන්කමක්‌ නැහැ කියලා. ආත්ම ගරුත්වයක්‌ ස්‌වාධිපතයක්‌, ඉතිහාසයක්‌, සංස්‌කෘතියක්‌ තිබෙන රජයකට මේ ගැන මොහොතකටවත් හිතන්න පුළුවන්කමක්‌ නැහැ කියන ස්‌ථාවරයේ ඉඳලා අපි මේ කොන්දේසි ප්‍රතික්‍ෂේප කළා. කැතරින් ඇෂ්ටන් ආර්යාව මට එවපු ලිපිය මා මේ අවස්‌ථාවේ දී සභාගත කරනවා. ඒ වාගේම අපේ රජය ඒ සම්බන්ධයෙන් නිකුත් කළ ප්‍රකාශයත් මා සභාගත කරනවා. කැතරින් ඈෂ්ටන් ආර්යාවට නොවෙයි අපේ ජනතාවට අපි ප්‍රකාශ කළා මෙන්න මේ මේ හේතු නිසා මේ කොන්දේසි අපට කිසිසේත් පිළිගන්නට බැහැයි කියලා.


තවත් ආඩම්බර විය යුතු කරුණක්‌ තිබෙනවා. ඒ තමයි, මේ තත්ත්වය උද්ගත වූ විගස, මේ ලියුම මට ලැබුණු විගස, අපේ විදේශ කටයුතු අමාත්‍යංශයට කැඳෙව්වා. මේ රටේ ව්‍යාපාරිකයන්ව, මේ තීරණයට සෘජු වශයෙන් සම්බන්ධ වන ව්‍යාපාරිකයන්ට අපි ආරාධනා කළා. විදේශ කටයුතු අමාත්‍යංශයට එන්නය කියලා මේ පිළිබඳ සාකච්ඡාවකට. මා තමුන්නාන්සේට ඉතාමත් ආඩම්බරයෙන් කියන්න කැමැතියි ඒ ව්‍යාපාරිකයන්ගෙන් එක්‌ කෙනෙක්‌වත් අපට කිව්වේ නැහැ, මේ කොන්දේසි පිළිගන්නය කියලා. ඒ ගොල්ලන්ට අලාභයක්‌ වුණත්, නැතත් හැමෝම කිව්වා, "අපි රටට ආදරෙයි", කිසිසේත් මේ කොන්දේසි පිළිගන්නට බැහැ" යි කියලා. මේ රටේ ව්‍යාපාරිකයන් එක හඬින් කිව්වා මේවා පිළිගන්නට එපා කියලා."

මම එක අදහසක්‌ පමණක්‌ ඉතාමත් කෙටියෙන් සඳහන් කරනවා. මම තමුන්නාන්සේලාට කියන්නේ මගේ ජීවිතයේ සෑම කාලයකම මහන්සි වෙලා වැඩ කරලා තිබෙන බවයි. ඔක්‌ස්‌ෆර්ඩ්, කේම්බ්‍රිඡ්, ලන්ඩන් විශ්වවිද්‍යාලවල තුනෙන්ම ඉහළම ගෞරව සම්මාන ලබාගත් කෙනෙක්‌ ලංකාවේ නැහැයි කිව්වා. ඇත්ත වශයෙන්ම ඒ තුනෙන්ම ගෞරව සම්මාන ලබාගත් කෙනෙක්‌ දකුණු ආසියාවේම නැහැ. ඒවා අහම්බෙන් කෙරුණ වැඩ නොවෙයි. මහන්සිවෙලා කර ගත් දේවල්. මම ඒ ලබාගත් දැනුම මේ රටේ පරම්පරා දෙකකට ලබාදීලා තිබෙනවා. මේ රටේ අග්‍ර විනිශ්චයාකාරතුමාගේ සිට මහෙස්‌ත්‍රාත්වරුන් දක්‌වා අයගෙන් සියයට 50 කට මම නීතිය උගන්වලා තිබෙනවා.

මම තමුන්aනාන්සේලාට කියනවා මගේ ජීවිතයේ කිසිම කලෙක මේ විධියට මහන්සිවෙලා වැඩ කළේ නැහැයි කියලා. ජනාධිපතිතුමාගේ රජය වෙනුවෙන් මම ඒ මහන්සිය දරාගෙන ඉතාමත් සතුටින්, ලොකු තෘප්තියක්‌ ලබාගෙන වැඩ කරනවා. ඒකට හේතු දෙකක්‌ තිබෙනවා. එකක්‌ කරන වැඩ අගය කරනවා. අනෙක්‌ සමහර අය වගේ නොවෙයි, එතුමා කරන වැඩ අගය කරනවා. කරන වැඩ අගය කරනවා වාගේම කරන වැඩවල ප්‍රතිඵල ඇස්‌ පනාපිට බලන්න පුළුවන් තත්ත්වයක්‌ තිබෙනවා. ඒ නිසා මගේ ජීවිතයේ කිසිම අවස්‌ථාවක මහන්සි වුණු තරමට වඩා ජනාධිපතිතුමාගේ රජය මට දීල තිබෙන කාර්යභාරය උපරිම මට්‌ටමින් ඉෂ්ට කිරීම සඳහා ඇප කැප වෙනවා.

විශ්වාස භංග යෝජනා හැම සතියේම ගේන්න. එහෙත් මගේ ධෛර්යය, අධිෂ්ඨානය අබමල් රේණුවකින්වත් අඩු නොවන බව ඔබතුමාටත්, මේ ගරු සභාවටත් ප්‍රකාශ කරමින් මගේ වචන ස්‌වල්පය අවසන් කරනවා.

විදේශ ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස්‌ පාර්ලිමේන්තුවේදී කියා සිටි

No comments: