Sunday, November 23, 2014

Why Should Anyone Vote For Maithripala if he won't be President after 100 days and Ranil will be Prime Minister?

පොදු විපක්ෂය ඉදිරිපත් කරන වැඩසටහනේ යම් යම් අපහැදිලිතා ඇති බව කිව යුතුය. දින සියයකින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට මෛත්‍රීපාල සිරිසේන ‍පොරොන්දුවී තිබේ. මේ දින සියය අවසානයේදී ඔහු කරන්නේ කුමක්ද? ඔහු ගෙදර යනවාද? අගමැති ධුරයේ රනිල් වික්‍රමසිංහ දිගටම කටයුතු කරනවාද යන අපහැදිලිතාවය තිබේ.

මේ පෙරමුණ ශක්තිමත් වීමට නම් ජනතා විමුක්ති පෙරමුණ අනිවාර්යයෙන්ම මෙයට එක්විය යුතුය. ඔවුන් ප්‍රබල ආකාරයට මෙයට සම්බන්ධ කරගත යුතුය. මේ වේදිකාවේ වෙන කවුරුවත් නොසිටියත් මෛත්‍රීපාල සිරිසේන සමග අනුර කුමාර දිසානායක සිටියොත් මේ ජනාධිපතිවරණ සටන සැබෑ සටනක් බවට පත්වනු ඇත. මෛත්‍රීපාල සිරිසේන මැදිකරගෙන දෙපැත්තේ සිටිය යුතු ප්‍රධාන චරිත දෙකක් වන්නේ අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ කථිකයින් හා අතුරලියේ රතන, පාඨලී චම්පික රණවක, උදය ගම්මන්පිල ප්‍රමුඛ ජාතික හෙළ උරුමයේ කථිකයින්ය. අතීතයේ අවතාර මෛත්‍රීපාල සිරිසේනගේ වේදිකාවේ හොල්මන් නොකළ යුතුය. එමෙන්ම තම තමන්ගේ දේශපාලන වෘත්තාන්ත දීර්ඝ කතාන්දර පැවැසීමෙන් වැළකිය යුතුය.

මෙතැන තිබෙන එක් දුර්වලතාවයක් වන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ගැන සටන් පාඨයට මුල් තැන දීමය. සැබවින්ම මුල් තැන දිය යුතු දේ ගැන මෛත්‍රීපාල සිරිසේන සිය මුවින් පැවැසුවේය. ජනාධිපතිතුමා යුද්ධයට දේශපාලන නායකත්වය දුන්නත්, එයට අපි ඔහුට ගරු කරන බව පැහැදිලි වුවත් ඉන් ඔබ්බට යෑමේදී පවුල්වාදයක් විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, ආණ්ඩුවත්, සමාජයත් හිර කරන ලද බව ඔහු කීවේය. මෙය ප්‍රබල පණිවුඩයකි. මේ පණිවුඩය මෛත්‍රීපාල සිරිසේන මතුකරගත්තේය. ඔහු ජනතාවට සමීප විය හැකි කථිකයෙකි. ඔහුගේ එම වෘත්තාන්තය යටපත් කරමින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ සටන් පාඨයට මුල් තැන දෙන්නේනම් ගැමි ගොවි ජනතාව අතර එය සාර්ථක ලෙස මතු කරගැනීමට හැකි ආවේගාත්මක සටන් පාඨයක් නොවනු ඇත.

- ආචාර්ය දයාන් ජයතිලක


No comments: