Monday, December 6, 2010

ලන්ඩනය රාජ්‍ය නායකයන්ට අවදානම් රටක්‌

එදා ශ්‍රී ලංකාව සංචාරකයන්ට අවදානම් සහිත රටක්‌ ලෙස උපදෙස්‌ දුන් ඇතැම් බටහිර රටවල් පසුගියදා ලන්ඩනයේ උද්ගත වූ තත්ත්වය පිළිබඳ කුමක්‌ කියන්නේදැයි අපි නොදනිමු. එහෙත් ලන්ඩනය රාජ්‍ය නායකයන්ට අවදානම් රටක්‌ ලෙස කෙනෙක්‌ යෝජනා කළොත් එයට ලැබෙන පිළිතුර කුමක්‌ද?

ජනාධිපතිවරයාට විරුද්ධව පෙළ ගැසුණු උද්ඝෝෂණවල ලෙළදුන්නේ ඊළාම් කොඩිය. රැව් දුන්නේ ඊළාම්වාදී සටන් පාඨය. මෙය ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්‌ ලෙස බ්‍රිතාන්‍ය රජය කල්පනා කරන්නේද? ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට එරෙහිව උද්ඝෝෂණය වරදක්‌ නොවේ. එය දේශපාලන හෝ වෙනත් ප්‍රතිපත්තිමය පදනමක්‌ මත පිහිටා කළ යුත්තකි. එහෙත් ඊළාම් ත්‍රස්‌තවාදීන්ට ඒ සඳහා සදාචාරාත්මක අයිතියක්‌ ලබාදිය යුතුද?

මෙය රාජ්‍ය තාන්ත්‍රික වගකීමක්‌ පැහැර හැර ත්‍රස්‌තවාදීන්ට උත්තේජනයක්‌ දීමක්‌ ලෙස අපි දකිමු. එය උද්ඝෝෂණ පැවැත්වීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය එල්ටීටීඊ ෆැසිස්‌ට්‌වාදීන්ගේ රූකඩවලට ලබාදීමකි. බ්‍රිතාන්‍ය පොලිසියේද දණිස්‌ පොල්කටු වේව්ලවීමට තරම් වූ ඒ සාහසිකත්වයට බිය වූ බ්‍රිතාන්‍ය රජය කළේ ඓතිහාසික සම්ප්‍රදායකට අනුව කළ ආරාධනයක්‌ අනුව පැමිණි පෙරදිග රාජ්‍ය තාන්ත්‍රිකයකු අපහසුවට පත් කිරීමක්‌ නොවේද?

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ලන්ඩන් සංචාරය සාමාන්‍ය එකක්‌ නොවන බව බ්‍රිතාන්‍ය රජයට පහදා දිය යුතු නැත. එහෙත් තම රටට පැමිණි රාජ්‍ය නායකයකුට ආරක්‍ෂාව සලසා දෙන්නට තරම් ශක්‌තියක්‌ බ්‍රිතාන්‍ය රජයට නොවී නම් එය බරපතල තත්ත්වයක්‌ බව අපගේ අදහසය.

ශ්‍රී ලංකාවේ ත්‍රස්‌තවාදය උග්‍රව තිබියදී පවා මේ රටට පැමිණි රාජ්‍ය තාන්ත්‍රිකයන්ට ආරක්‍ෂාව ලබා දුන් බව අපි දනිමු. අප දන්නා පරිදි ඒ කාලයේදී ආරක්‍ෂාව ප්‍රමාණවත් නැතැයි පවසා ආපසු ගියේ ඔස්‌ටේ්‍රලියානු ක්‍රිකට්‌ කණ්‌ඩායමක්‌ පමණි. ඔවුන් ගියේද රජය විසින් දෙන ලද ආරක්‍ෂාව පිළිබඳ සහතිකය නොතකමින්ය.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට ආරක්‍ෂාව සැලසීම පිළිබඳ ගැටලුවක්‌ වී නම් බ්‍රිතාන්‍ය රජයට තිබුණේ වේලාසනින්ම ඒ බව දන්වා රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිචාරයක්‌ දැක්‌වීමය. තමන්ට එල්ටීටීඊ හිතවාදීන්ට මුහුණ දීමට බැරි බව කීම ලැඡ්ජාවක්‌ නොවේ. එහෙත් ඊළාම් කොඩි වනමින් කරන ලද ඒ ක්‍රියාව කිසිසේත්ම ප්‍රජාතන්ත්‍රවාදී විරෝධයක්‌ නොවන බව දැන්වත් බ්‍රිතාන්‍ය රජය කල්පනා කළ යුතුය.

ඊළාම්වාදීන්ට ඉඩ දී බ්‍රිතාන්‍ය රජය ඉතා වැරැදි පූර්වාදර්ශයක්‌ ලොවට පෙන්වා තිබෙන බව අපගේ චෝදනාවයි. තම රටේ තහනම් කර තිබෙන සංවිධානයකට එබඳු රැස්‌වීම් හෝ උද්ඝෝෂණ කිරීමට ඉඩ දීමෙන් බ්‍රිතාන්‍යය කර ඇත්තේ ත්‍රස්‌තවාදයට ඉඩ දීමක්‌ නොවේ නම් ඒ කුමක්‌ද?

පෙරදිග ලෝකයේ මුතු ඇටය යළි දුර්වර්ණ ගැන්වීමට අපි කිසිදු බලවේගයකට ඉඩ නොදෙන්නෙමු. මිතුරන්ට මිතුරන් සේ සැලකීමට මෙන්ම සතුරන්ට වුවද මෛත්‍රී කිරීමට අපි පුරුදු වී සිටින්නෙමු. එහෙත් කිසි දිනක සතුරන්ට යටවීමට අපි සූදානම් නොවන්නෙමු.


No comments: