Monday, September 6, 2010

18 වැනි වරටත් සංශෝධනය කිරීම

විපක්‍ෂයේ ලොම් හැලී ගිය පසු සහ පාර්ලිමේන්තුවේ ඉතා සුළු නියෝජනයක්‌ ඇති බංකොලොත් පක්‍ෂ මේ දිනවල සිය එදිනෙදා ජීවිතය පවත්වාගෙන යන්නේ මෙකී සංශෝධනය පිළිබඳව උද්ඝෝෂණ කිරීම, අත් පත්‍රිකා බෙදීම, පුවත්පත් සාකච්ඡා පැවැත්වීම, රූපවාහිනි හා ගුවන් විදුලි නාලිකාවලට වොයිස්‌ කට්‌ දීම (ප්‍රකාශ දීම) යනාදියෙන්. ඔවුන් නොකළ එකම දෙය මේ වෙනුවෙන් විරෝධය පළ කිරීම සඳහා කැට ව්‍යාපාරයක්‌ දියත් කිරීම පමණි. ශ්‍රී ලංකාවේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව 18 වැනි වරටත් සංශෝධනය කිරීම යනු තුන්වන ලෝක යුද්ධය හට ගැනීම හෝ ලංකාවට පරමාණු බෝම්බයක්‌ හෙළීම තරම් භයානක කටයුත්තක්‌ද? ආතක්‌ පාතක්‌ නැති කුඩා දේශපාලන කණ්‌ඩායම් පෙන්වාදී ඇති පරිදි මෙකී සංශෝධනය පෙරකී සිදුවීම් දෙකෙන්ම ඔබ්බට යන තරම් භයානක වූද, සාපරාධී වූද කටයුත්තකි.

පාර්ලිමේන්තුවේ සුළු නියෝජනයක්‌ සහිත ඇතැම් "එකා දෙන්නා" පක්‍ෂයක තකතීරුවකු කියා සිටියේ මේ සංශෝධනයට විරුද්ධව ජනතාව පෙළ ගස්‌වා වීදි බස්‌සවා අරගලයක්‌ කරන බවය. එහෙත් කිසි කෙනෙක්‌ මේ අරමුණු වෙනුවෙන් එක පෙළට සිට ගත්තේ නැත.

දහඅටවැනි සංශෝධනය පිළිබඳ සරල මතය මෙසේය. සංශෝධන 18 ක්‌ නොව 118 ක්‌ කළද ජනාධිපතිවරයා තුන්වන අවස්‌ථාවක්‌ ලබා ගැනීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ඡන්දයකට යා යුතුය. ඒ අවස්‌ථාවේදී ගතවූ කාලය තුළ ජනාධිපතිවරයා සාධාරණ සහ සද්භාවයෙන් යුතු රාජ්‍ය පාලකයකු ලෙස කටයුතු කළ බව ජනයාට එත්තු ගොස්‌ ඇත්නම් ජනයා ඔහුට පසුව ඡන්දය පාවිච්චි කරනු ඇත. නැත්නම් ඒ අවස්‌ථාවේදී මතුවන ප්‍රතිවාදියාට පක්‍ෂව ඡන්දය පාවිච්චි කරනු ඇත. මිනිසුන් වීදි බැසිය යුත්තේ ජනාධිපතිවරයා ඡන්දයකින් තොරව ධුර කාලය දීර්ඝ කර ගන්නට උත්සහ කරන්නේ නම් පමණි.

No comments: