Tuesday, January 11, 2011

යුදෙව් ඉතිහාසය

යුදෙව් ආගමික ග්‍රන්ථවලට අනුව මැදපෙරදිග රටවල සංචාරක ගෝත්‍රයක්‌ (අප දන්නා පරිදි අහිගුණ්‌ඨික ගෝත්‍රිකයක්‌) ලෙසින් ජීවත් වූ හීබෲ ගෝත්‍රිකයෝ ක්‍රිස්‌තු පූර්ව 1200 දී පමණ ඔවුන්ගේ නායකයෙකු වූ ආබ්‍රහම් සර්වබලධාරි එක ම දෙවියන් වහන්සේ සමග ඇති කර ගත් ගිවිසුමක්‌ මත දෙවියන් වහන්සේගේ නියමයන් අනුව ජීවත් වීමට එකඟ වී අද පලස්‌තීනය යනුවෙන් හැඳින්වෙන ප්‍රදේශයේ යෙරුසෙලම ආශ්‍රිතව පදිංචි වී ඔවුන්ගේ සංචාරක දිවිපැවැත්ම අත් හළහ. ඔවුන් පදිංචි වූ ප්‍රදේශය ආබ්‍රහම්ගේ මුනුපුරෙකු හට දෙවියන් වහන්සේ විසින් තබන ලද "ඊශ්‍රායල්" යන නම අනුව යමින් ඊශ්‍රායලය යනුවෙන් නම් කර ගත්හ.

වැඩි කල් එසේ ජීවත් වීමට ඔවුනට නොහැකි විය. ඊජිප්තු පාරාවෝවරුන් ඊශ්‍රායලය ආක්‍රමණය කළහ. ඊශ්‍රායලවරුන්ට ඉන් පසු ඊජිප්තුවේ වහලුන් ලෙස වැඩ කිරීමට සිදු විය. ක්‍රිස්‌තු පූර්ව 1250 දී පමණ ඊජිප්තුවේ උපත ලද මෝසස්‌ නම් හීබෲ පරපුරකින් පැවත එන තැනැත්තෙකු විසින් දෙවියන් වහන්සේගේ නියමය පරිදි දෙවියන් වහන්සේගේ උපකාරයෙන් ඊශ්‍රායල්වරු වහල් බවින් මුදා ගන්නා ලදී. පාරාවෝවරුන්ගේ වහල්කමින් හීබෲ ගෝත්‍රිකයන් මුදා ගැනීම පිණිස මිසර ජාතිකයන් බිය වැද්දවීමට සර්වබලධාරී වූ දෙවියන් වහන්සේ මොසස්‌ තුමාගේ ඉල්ලීම පරිදි ළමයින් හට වැළඳෙන වසංගත රෝග දහයක්‌ මුදා හළ බව පසුකාලීනව ලියවුණු යුදෙව් ආගමික පොත පතෙහි සඳහන් වේ. මේ මුදවා ගැනීමෙන් පසු ඊජිප්තුවෙන් පලා ආ ඔවුහු ඊශ්‍රායලය නමින් හැඳින් වූ ප්‍රදේශයේ නැවත පදිංචි වූහ. මොසස්‌ විසින් දස පනත ද ඇතුළු යුදෙව් නීතිරීති 613 ක්‌ මෙම පදිංචිකරුවන් විසින් අනුගමනය කළ යුතු යෑයි පැවසුවේ ද දෙවියන් වහන්සේගේ නියමය පරිදි ය. යුදෙව් ආගම බිහි වූයේ ඒ අයුරිණි. යුදෙව් ආගමේ විශේෂත්වය වූයේ යුදෙව් ජාතිකයෙකුට හැර වෙනත් කිසිවෙකුට ඒ ආගම ඇදහීමේ අයිතිය අහුරා තැබීම ය. යුදෙව් ආගමේ මෙම සීමාව ඉවත් කර ලෝකවාසී සියලු දෙනාට ම එම ආගම ඇදහීමේ වරප්‍රසාදය දිය යුතු යෑයි දේශනා කළ උපතින් යුදෙව්වකු වූ යේසුස්‌ ක්‍රිස්‌තුස්‌ වහන්සේ යුදෙව්වන් ඊජිප්තු ග්‍රහණයෙන් මිදී පැමිණීම වෙනුවෙන් පැවැත්වෙන පෙෂාවර් උත්සවයට පැමිණි අවස්‌ථාවේ බොරු චෝදනාවක්‌ මත දඬුවම් කර කුරුසියේ ඇණ ගසා උන් වහන්සේ මරා දැමුවේ ද යුදෙව්වන්ගේ ආගමික භක්‌තිය මනාවට පෙන්නුම් කරමිනි.

ඊශ්‍රායලයට එරෙහි ආක්‍රමණ ඊජිප්තු ආක්‍රමණයත් සමග නැවතුනේ නැත. බැබිලෝනියන්වරු, ඇසිරියන්වරු හා රෝමවරු වරින් වර ඊශ්‍රායලය ආක්‍රමණය කළහ. මේ සෑම අවස්‌ථාවකදීම ඊශ්‍රායල්වරුන් ඔවුන්ගේ මව්බිමෙන් පලවා හරින ලදී. ඔවුන්ට සිදු වූයේ වඩා සුරක්‍ෂිත යෑයි ඔවුන් සිතූ ඉතාලිය, එංගලන්තය, ප්‍රංශය, ජර්මනිය යන බටහිර රටවලට පලා යාමට ය. යෙරුසෙලම් නගරය පිහිටියේ ඊශ්‍රායලයේ ජුදා (Judah) නමින් හැඳින් වූ ප්‍රදේශයේ හෙයින් බටහිර රටවලට හා වෙනත් මැද පෙරදිග රටවලට පලා ආ ඊශ්‍රායල් ජාතිකයන් "යුදෙව්වන්" "Jews" යනුවෙන් හැඳින්වීමට පටන් ගත්හ. බටහිර රටවලට පලා ආ නමුත් දෙවියන් වහන්සේගේ නියමය පරිදි මෝසස්‌තුමා විසින් දේශනා කරන ලද ආකාරයට තම ජීවිත පවත්වා ගැනීමට ද ඒ ඇදහිලි අනුගමනය කිරීමට ද ඔවුහු අමතක නොකළහ. ඒ නිසා "යුදෙව්වන්" "Jews" විසින් අදහන ආගම "යුදෙව් ආගම" "Judaism" යනුවෙන් හැඳින්විය. මෙම තත්ත්වය ද ගැටලු සහගත විය. ක්‍රිස්‌තියානිය හා රෝමානු කතෝලික ආගම යුරෝපය පුරා පෘතුල ලෙස පැතිර යාමත් සමග එංගලන්ත, ප්‍රංශ හා ස්‌පාඤ්ඤය වැනි රටවල රටවැසියන් සමග ආගමික ගැටුම් ඇතිවීම වැළැක්‌ විය නොහැකි විය. එහෙයින් ඊශ්‍රායල් ජාතික යුදෙව්වන් ඒ රටවලින් නෙරපා හරින ලදී.

මේ නෙරපා හැරීම නිසා යුදෙව්වන් හට ඉතිරි වූයේ ඉතාලිය, ජර්මනිය, ඕස්‌ත්‍රියාව, රුසියාව වැනි රටවල් පමණකි, බොහෝ විට එහි දී ද ඔවුනට සිදු වූයේ ඈත ප්‍රදේශවල වෙන ම ජන කොට්‌ඨාසයක්‌ ලෙස ජීවත් වීමට ය. එම ජනාවාස හැඳින් වූයේ "මුඩුක්‌කු" "ghettos" යනුවෙනි. එපමණක්‌ නොව සමහර රටවල දී ප්‍රසිද්ධියේ හීබෲ භාෂාව කතා කිරීම ද ආගමික වතාවත්වල යෙදීම ද ඔවුනට තහනම් විය. තවත් සමහර ප්‍රදේශවල දී ගමන් බිමන් යනෙන විට වළලුකර දක්‌වා වැටෙන දිග ලෝගුවක්‌ වැනි විශේෂිත ඇඳුමක්‌ ඇඳ ගෙන යාමට හෝ යුදෙව්වෙකු බව ලෙහෙසියෙන් හඳුනා ගත හැකි වන පරිදි පදක්‌කමක්‌ පැළඳ සිටීමට හෝ සිදු විය. තවත් සමහර ප්‍රදේශවල දී ඊස්‌ට්‌ යොදා සාදනු ලබන පාන් ආහාරයට ගැනීම ද ඔවුනට තහනම් විය. ඒ බව සිහිපත් කරනු පිණිස ඊශ්‍රායලයේ ජීවත්වන යුදෙව්වන් පෙෂාවෝර් වැනි සමහර ආගමික උත්සවවලට පෙර ගෙදරදොර, ආහාර පිණිස හා අනුභව කරන භාජන පිරිසිදු කරන්නේ ඊස්‌ට්‌ බිඳක්‌වත් ඉදිරි නොවන සේය.

මෙසේ ඉතා දැඩි ආකාරයේ පීඩනවලට ලක්‌ව ජර්මනිය, රුසියාව, පෝලන්තය, ලිතුවේනියාව වැනි රටවල ජීවත් වූ යුදෙව්වන්ට එරෙහිව එල්ල වුණු දැඩිම ප්‍රහාරය එල්ල වූයේ දෙවන ලෝක යුද්ධයේ දී ය. ඒ නිසා බොහෝ යුදෙව්වෝ අමෙරිකා එක්‌සත් ජනපදයට පලා ගියහá සමහරු පලස්‌තීනයට පලා ගොස්‌ නැවත ඊශ්‍රායල් රට පිහිටුවා ගත්හ. ඊශ්‍රායලය යන නම වෙනස්‌ කොට එම දේශය පලස්‌තීනය ලෙස නම් කළේ රෝම ආක්‍රමණිකයන් විසින් යුදෙව්වන් එරටින් පලවා හැරීමෙන් පසුව ය.

හෙන්රි සමරනායක

No comments: