Wednesday, July 13, 2011

බාල තෙල් වැඩෙන් නරක්‌ වී ඇත්තේ පෙට්‍රල් වාහනවල ඇන්ජින් පමණක්‌ නොවේ...

එකක්‌ කඩතොළු මකා ගන්නට 
ගිහින් මට වුණ කාරියා
සියක්‌ කඩතොළු සදා දුන්නැයි
ඉඳුරුවේ ආචාරියා

ඉහත සඳහන් වූයේ ජන කවියකි.

එය දැන් උදාව ඇති තෙල් හුටපටයට පසුව රචනා වූවක්‌ නොවේ. පුදුමයකට මෙන් ඊට පෙර කාලයක රචනා වූවකි. එසේ වුවද, වත්මන් තෙල් හුටපටයට තරම් එය ගැලපෙන ආකාරයේ වෙනත් ගොන්කමක්‌ රාජ්‍ය ආයතනයක්‌ විසින් මින් පෙර කරනු නොලැබ ඇති තරම්ය.

ශ්‍රී ලංකාවට සියයට අසූවක්‌ ඉන්ධන සපයන ඉන්දියානු සමාගමේ හැසිරීම පිළිබඳව (හිටි ගමන් අධි භාරය වැඩිකිරීම පිළිබඳව) අතෘප්තියට පත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්‌ථාව පිට පිට වාර පහක්‌ම එම සමාගමේ ටෙන්ඩරය ප්‍රතික්‌ෂේප කරයි.

දේව අනුහසකින් හෝ හදිසියේ ශ්‍රී ලංකාවේ ජල උල්පතක්‌ තෙල් උල්පතක්‌ බවට පත්වී පිරිපහදු කළ තෙල් තොග නිර්මාණය වන්නේ නැති නිසා රටේ තෙල් හිඟයක්‌ ඇති වන බවට ලකුණු පහළ වෙයි.

පිට පිට වාර පහක්‌ම තෙල් ආනයනය ප්‍රතික්‌ෂේප කරන විට රටේ තෙල් හිඟයක්‌ ඇතිවිය හැකි බවට අදාළ ඥනවන්ත නිලධාරීන්ට සිතිවිල්ලක්‌වත් පහළ නොවේ. ඔවුන්ට එබඳු සිතිවිල්ලක්‌ පහළ වන්නේත්, "මුක පූට්‌ටුවන්නේත්" ඉන්දියානු ටෙන්ඩරය පස්‌වන වතාවටත් ප්‍රතික්‌ෂේප කිරීමෙන් අනතුරුවය.

දැන් වැඩේ හරිය, රටට ඕනෑ කොහෙන් හරි තෙල් ය. (මොනවා හරි තෙල්ය) තෙල් ආනයන බලධාරීත්වයේ මොළකාරයන් මහදැනමුත්තා වර්ගයේ තීන්දුවක්‌ ගන්නේ දැන්ය. දැන් ඔවුහු "එමිරේට්‌ස්‌ නැෂනල් ඔයිල් කෝපරේෂන්" නමැති සමාගමකින් "අරිටත් වඩා වැඩි මුදලකට" ඉන්ධන මෙටි්‍රක්‌ ටොන් 20,000 ක්‌ ගෙන්වන්නෝය.

රටේ අහිංසක මිනිසුන්ගේ රථවාහන මහමඟ නතර කළේත්, වාහන දහස්‌ ගණනකට මහත් හානියක්‌ සිදු කළේත් තවත් වැඩි මුදලකට ගෙන්වූ ඒ ඉන්ධනය.

ඒවා ඉන්ධනමද නැතහොත් වෙනත් "මොන මඟුලක්‌ද" යන්න තවමත් අනාවරණය කොට නොමැති හෙයින් අපිදු ඒවා බාල ඉන්ධන යනුවෙන් හඳුන්වමු.

බාල තෙල් පිළිබඳ සිදුවීමේදී අමාත්‍යවරයාගේ කියුම් කෙරුම් සහ හැසිරීම අපට ප්‍රකාශ කරන්නේ ඔහු එක්‌කෝ තම නිලධාරීන්ට බියෙන් පසුවන බවය. නැතහොත් මේ අර්බුදය පිළිබඳව ඔහුට මෙලෝ දෙයක්‌ නොතේරෙන බවය.

ඒ කෙසේ වුවත් බාල තෙල් වැඩෙන් හොඳටම නරක්‌ වී ඇත්තේ ශ්‍රී ලංකාවේ පෙට්‍රල් වාහනවල ඇන්ජින් පමණක්‌ නොව මේ රජයට මහත් ගෞරවයක්‌ දැක්‌වූ ජනතා හදවත් ද බව රජය ද දැනගන්නවා හොඳය.

No comments: